May 1, 2017

යාපනය සරසවියේ ඇත්තටම මොකද වුණේ?

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගිය සතියේ ඇති වූ ගැටුම මේ වන විට දෙස් විදෙස් දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. මේ ගැටුම පිටුපස සිටින්නේ එල්ටීටීඊයට පණ දීමට උත්සාහ කරන කණ්ඩායමක් බව දකුණේ ඇතැමුන් චෝදනා කරන විට එල්ටීටීඊ හිතවාදී මාධ්‍ය කියන්නේ ගැටුම හමුදාවේ වැඩක් බවය. ඇත්තටම යාපනය සරසවියේ වුණේ කුමක්ද. මේ උතුරේ ලක්බිම නියෝජිතයා හෙළි කරන කතාවය.

යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සම්ප්‍රදායික පිළිගැනීම හෙවත් (සෝෂල්) උත්සවය පැවැත්වීමට දින නියම කරගෙන තිබුණේ ජූලි 16 දාය. එම උත්සවය සංවිධානය කර තිබුණේ දෙවැනි වසරේ සිසුන්ය. උත්සවය 16 දින පෙරවරුවේ දී ඇරඹිණි. නවක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හොඳින් හැඳ පැළඳ එම අවස්ථාවට එක් වූහ. විශ්වවිද්‍යාලයීය උප කුලපතිවරිය ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් උත්සව සභාව පැවැත්වීමට නියමිතව තිබුණේ දිවා ආහාරයෙන් පසුවයි. පැමිණෙන ආරාධිත අමුත්තන් පිළිගැනීම හින්දු සම්ප්‍රදායානුකූලව ඉටුකළ යුතු බවට සංවිධායකයන් තීරණය කර තිබුණි. එහෙත් දකුණෙන් ගිය සිසුන්ගේ යෝජනාව වූයේ උඩරට වෙස් නැටුම් කණ්ඩායමක්ද එක්කර හින්දු හා සිංහල මිශ්‍ර පිළිගැනීමක් කළ යුතු බවයි. එම යෝජනාවට සාධාරණ හේතුවක්ද තිබිණ. මීට පෙරද යාපනය විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය සහභාගිත්වයෙන් පැවැත්වෙන බොහෝ උත්සව සිංහල හා හින්දු මිශ්‍ර චාරිත්‍ර අනුව පවත්වා තිබිණි. හැරැත් උතුරු නැගෙනහිර පැවැත්වෙන බොහෝ උත්සව සඳහා දෙමළ හා සිංහල බසින් ජාතික ගීය ගායනා කිරීම හා මිශ්‍ර චාරිත්‍ර එක් කිරීම සාමාන්‍ය දෙයකි. හමුදා කඳවුරු තුළද එය එසේමය.

කෙසේ නමුත් සිසුන්ගේ යෝජනාවට සංවිධායකයන්ගේ පිළිතුර වූයේ පිළිගැනීමට හින්දු චාරිත්‍ර හොඳටම ඇති. ඔයාලට අවශ්‍ය නම්  ඔයාලගෙ
වෙස් නැටුම උත්සව වේදිකාවේදී කරන්න. යන්නයි. ඒ වන විට වෙස් නැටුම් කණ්ඩායම නැටුම සඳහා සුදුසු ලෙස හැඳ පැළඳගෙනද සිටියෝය. තිදෙනෙකුගෙන් යුත් වෙස් නැටුම් කණ්ඩායම නැටුම් ශිල්පය දන්නා යාපනය විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලබන සිසුහු වූහ. ඒ අතර ආරාධිත අමුත්තෝද පැමිණියෝය. හින්දු චාරිත්‍රානුකූලව මෝලම් හා නාද ස්වරම් සංගීත කණ්ඩායම ඉදිරිපසින් පැමිණෙන විට එම කණ්ඩායම හා ආරාධිතයන් අතර හිඩැසට ගිය වෙස් නාට්‍ය කණ්ඩායම චාරිත්‍රානුකූලව පිළිගැනීම කළේය. ඒත් සමග එම ස්ථානයට පැමිණි කණ්ඩායමක් වෙස් කණ්ඩායමට බාධා කර ඉවතට තල්ලු කරන්නට වූහ. එහිදී සිසුන් පිරිසක් වෙස් නැටුම් කණ්ඩායම බේරා ගැනීමට ඉදිරිපත් වූහ. ඒත් සමග තවත් සිසුන් පිරිසක් සිසුන්ට පහර දෙන්නට වූහ. දෙපාර්ශ්ව අතර මහ ශිෂ්‍ය ගැටුමක් ඇවිළුණි.
ගැටුම ඇතිවෙද්දී සිසු සිසුවියන් බයෙන් බිරාන්තව සිටින විට ‘නංගිලා මල්ලිලා ඔයාලා හොස්ටල්වලට යන්න යැයි කියමින් ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුහු උපදෙස් දෙන්නට වූහ. ගැටුම සිදු වූ ස්ථානයට ආසන්නයෙන්ම පිහිටි කාන්තා නේවාසිකාගාරය වූයේ ආනන්ද කුමාරස්වාමි නේවාසිකාගාරයයි. සියලුම සිසුවියන් ආරක්ෂාව සඳහා එම නේවාසිකාගාරයට ගියහ. ඒ වනවිට නේවාසිකාගාරයේ සිටි සිසුවියෝ 10 දෙනෙකු පමණ තුවාල ලබා සිටියෝය. පහර කෑමෙන් මෙන්ම දිව යාමේදී වැටීමෙන් මෙන්ම කැඩී බිඳී ගිය වීදුරු කැබලි වැදීමෙන්ද ඔවුහු තුවාල ලබා සිටියෝය.
තවත් ස්වල්ප වේලාවක් ගත වන විට ගල් හා ‍පොලු මුගුරු රැගත් කණ්ඩායමක්ද ප්‍රහාරයට එක්ව සිටියෝය. ඔවුන්ද ප්‍රහාර එල්ල කළෝය. ඔවුන් සියලු දෙනා කලා පීඨයේ අධ්‍යාපනය ලබන සිසුන් බව පහර කෑමට ලක්වූ සිසුහු කියති.
මෙම ගැටුම පිළිබඳව ඒ වන විට යුද හමුදාව හා ‍පොලීසිය දැනුවත් කර තිබුණි. සිසුන් උතුරේ රාජකාරී කරන ඥාති ‍පොලිස් නිලධාරීන්ට හා හමුදා නිලධාරීන්ට දුරකථන ඇමතුම් දී තිබිණි. දැන ගන්නට ලැබෙන පරිදි හමුදා කණ්ඩායමක් විශ්ව විද්‍යාලය වෙත පැමිණීමට සූදානම් වුවද ඉහළින් ලැබුණු උපදෙස් මත හමුදා මැදිහත්වීමක් වූයේ නැත. ‍පොලීසියේ පිරිසක් පැමිණෙන විට විය යුතු සියල්ල සිදුව තිබිණි. ඒ වන විට සිසු සිසුවියන් 40 දෙනෙකු තුවාල ලබා සිටියෝය. එයින් වැඩි පිරිසක් රෝහලෙන්  බාහිර ප්‍රතිකාර ලබා පිටව ගියෝය. නේවාසිකව ප්‍රතිකාර ලැබුවේ හතර දෙනෙකි. ඒ අතර සිටි ජීවන් මධුරංග නම් සිසුවාගේ තත්ත්වය බරපතළ විය. ඔහුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් යාපනය රෝහ‍ලේ තිබුණද පැවැති තත්ත්වය අනුව එම සිසුවා පහසුකම් තිබෙන ආසන්නම රෝහල වූ අනුරාධපුර රෝහල වෙත මාරු කිරීමට තීරණය කෙරුණි. පසුව එම තීරණයද වෙනස් කර ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි. මේ ලිපිය ලියන විටත් ජීවන් මධුරංග සිසුවා ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබති. විද්‍යා පීඨයේ ගැටුමෙන් පසු බියට පත්ව සිසුන් සියලු දෙනා එක් නේවාසිකාගාරයක් වෙත යොමු කිරීමට පාලනාධිකාරිය පියවර ගැනීමෙන් අනතුරව විද්‍යාපීඨයට නිවාඩු දුන්නේය. රාත්‍රිය එළැඹෙන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණි බස් රථ තුනකට නගින ලෙස සිසුන්ට දැනුම් දුන්නාහ. ‘කිසිදේකට බය වෙන්න එපා ‍පොලිස් ආරක්ෂාව එක්ක බස් කොළඹට වෙනකම් යනවා. කැමැති අයට අතර මගදී බහින්න පුළුවන් පාලනාධිකාරිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැනුම් දුන්නේය. ‍පොලිස් ආරක්ෂාව යටතේ පැමිණි බස් රථ තුන වව්නියාවට පැමිණෙන විට රාත්‍රී 11.30 පමණ වී තිබිණි. ‍පොළොන්නරුව ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල පදිංචි සිසු සිසුවියන් 50 දෙනෙකු පමණ වව්නියාවෙන් බැස ගත්හ. මහ රෑ යාමේ තම  නිවෙස් කරා යාමට බස් රථ නොමැති වීමෙන් එම සිසු සිසුවියෝ මහත් අපහසුතාවයට පත්ව සිටියෝය. ඒ වන විට එම සිසුහු කොතරම් බියට පත්ව සිටියේද යත් මාධ්‍යවේදීන් වෙත සිද්ධිය කෙටියෙන් විස්තර කළ නමුත් නම් ගම් හා ඡායාරූප ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලීමක් කළෝය. ආපසු යාපනයට ගියාම අපට ප්‍රශ්නයක් ඇති වන්න පුළුවන් යැයි ඔවුහු කියා සිටියෝය. ඊට පසුදින සෙසු පීඨ සඳහා නිවාඩු ලබා දී විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගත්තේය. අනතුරුව 20 දා වෛද්‍ය පීඨය හා සිද්ධ ආයුර්වේද පීඨය පමණක් විවෘත කිරීමට පියවර ගෙන තිබිණ. සෙසු පීඨ ඉදිරියේදී අදියර වශයෙන් විවෘත කරන බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති වසන්ති අර්සකුලරත්නම් කීවාය.
මේ ගැටුම රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඒ නිසාම ජනාධිපති අගමැති ඇතුළු රජයේ පාර්ශ්වයෙන් අදහස් ප්‍රකාශ විය. ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ ප්‍රශ්නය ජාතිවාදී ප්‍රශ්නයක් කර නොගන්නා ලෙසයි. ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන් මීට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වා තිබිණි. එමෙන්ම විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය ජාතිවාදී ප්‍රශ්නයක් නොවන බවත් ඇති වු තත්ත්වය පිළිබඳව තමන් ඉතා කනගාටු වන බවයි.
කෙසේ නමුදු මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වූ මුල්ම අවස්ථාව මෙය නොවේ. යාපනය සරසවියට දකුණෙන් ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රැසක් ඉකුත් කාලයේදී විවිධ ප්‍රශ්නවලට මුහුණ දී තිබුණි. එය සිංහල පමණක් නොව මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද ඇතිවූ කාරණාවක් බවට පත්ව තිබුණි. 2005 දී යාපනය සරසවියේ වෛද්‍ය පීඨයට තේරුණු සිංහල හා මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවෝද මෙවැනි ප්‍රශ්නයකට මුහුන දුන්හ. 2005 ට පෙරද එවැනි සිද්ධීන් අනන්තවත් සිද්ධ විය. මේ හැම අවස්ථාවකදීම වූයේ හමුදා රැකවල් මැද ශිෂ්‍ය ශිෂ්‍යාවන් දකුණට ගෙන ඒමය.
මීට වසර 35ට පමණ පෙර දී ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදීද ශිෂ්‍ය කණ්ඩායම් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් බදුල්ල ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය පීඨ සිසුවෙකු සදාකාලික අබ්බගාතයෙකු බවට පත් විය.
එම සිසුවාගේ ජීවිතය මේ දක්වා රෝද පුටුවට සීමා වී තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අවසාන සිංහල ශිෂ්‍ය කණ්ඩායම ඔවුන් වූ අතර එදින ප්‍රහාරයත් සමග සිංහල සිසුන් යාපනය විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන ලදී. අනතුරවු අවස්ථා කීපයකදීම සිංහල සිසුන්හට යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන වරම් ලබා දීමට උත්සාහයන් ගනු ලැබුවද එතරම් සාර්ථක වූයේ නැත.
විධිමත් ලෙස සිංහල ශිෂ්‍ය කණ්ඩායම් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළු කෙරුණේ 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසුවය. දශක ගණනාවකට පසුව සිංහල සිසුන් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණීම ඇතැම් අන්තවාදීන් දුටුවේ සිංහල ආක්‍රමණයක් ලෙසය.
සිංහල සිසුන් යාපනයට පැමිණියේ ඔවුන්ට අධ්‍යාපනය සඳහා හිමි වූ විශ්ව විද්‍යාලය එය වූ බැවිනි. සමස්තයක් ලෙස සෙසු විශ්වවිද්‍යාලයන්ට සාපේක්ෂව යාපනය විශ්වවිද්‍යාල පහසුකම් අඩුය. එමෙන්ම ප්‍රියමනාපද නැත. සිසුන් ප්‍රකාශ කරන පරිදි එහි පානීය ජල පහසුකම් නැත. සනීපාරක්ෂක පහසුකම්ද අවමය. උද්‍යාන නඩත්තුවක් සිදුවන්නේද නැත. යාපනය සරසවියේ ඉගෙන ගැනීමට දකුණෙන් ගිය සිසු සිසුවියෝ මුහුණ දුන් ගැටලුව වුයේ කිවුල් ජලය  පානය කිරීමයි. යාපනය ක්‍රමයට ආහාර එකදිගට කෑමේ අපහසුතාවයකටද පත්ව සිටියේය.
මේ ගැටලුවලට ප්‍රතිකර්ම සොයන්නට සිසුන් සංවිධානය වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් ගෙවා පානීය ජලය සපයා ගැනීමේ මාර්ගයක් සාදා ගත්තේය. එසේම ප්‍රදේශයේ පිහිටි යුද හමුදා ආපන ශාලාවක් හා කථාබස් කර දකුණේ ඌරුවට සාදන ලද උදෑසන ආහාරයක් රුපියල් 45ටද දිවා හා රාත්‍රී ආහාරය රුපියල් 60 කට ලබා ගැනීමට කටයුතු කළේය. ඒ වනවිට යාපනය විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවේ ආහාර පාර්සලයක මිල රුපියල් 90 ක් විය. අඩුමිල ආහාර රැගත් හමුදා රථවලින් සිසුන් කෑම ගන්නා ආකාරය ඇතැම් ජාතිවාදී සිසුන් බැලුවේ කැමැත්තකින් නොවේ. ඒ අතරේ සරසවි බිමේ බුදු මැදුරක් ඉදිකිරීමට උත්සහ දැරුවද ඊට එරෙහිව විරෝධය පළ විය. ඉකුත් වෙසක් දින බැති ගී ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වුවද විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ඊට අවසර ලැබුණේ නැත. මේ සියලු කටයුතු ඇතැම් ජාතිවාදී සිසුන් රිස්සුවේ නැත. මෙලෙස ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණ අර්බුදයේ අවසන් ප්‍රතිඵලය වූයේ ඉහත සඳහන් කළ ගැටුමයි. මේ අතරේ මේ ප්‍රහාරයට මුල් වූ බවට චෝදනා එල්ල වූ සිසුවෙකු සිටී. එම සිසුවා යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සිසිදරන් කනකේෂ්වරන්ය. ඔහු ඉකුත් 19 දා කෝපායි ‍පොලීසියට භාර විය. 20 දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී ඔහුව ශරීර ඇප මත මුදාහැරියහ.
මේ තත්ත්වය සංහිඳියාව වෙනුවෙන් ඉවසන ලෙස කෙනෙකුට යෝජනා කළ හැකිය. එහෙත් සංහිඳියාව වූ කලී එක් පාර්ශ්වයකට පමණක් වෙන් වූ දෙයක් නොවේ. සංහිඳියාව තිබිය යුත්තේ දෙපාර්ශ්වයම අතරය.

ආරක්ෂාව නැතිනම් අපේ දරුවන් යාපනයට යවන්නේ නෑ

සිංහල සිසුන්ගේ දෙමාපියෝ කියති

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල මාධ්‍ය සිසුනට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොපවතින බැවින් තම දරුවන් එහි නොයැවීමට යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ සිසුනගේ දෙමාපියන් තීරණය කර තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ පසුගිය 16 වනදා වූ සිදුවීම නිසා තම දරුවන් බියටත් කම්පනයටත් පත්ව සිටිනා බැවින් ඔවුන්ට නිදහස් මනසකින් සිය අධ්‍යාපන කටයුතු යාපනය විශ්වවිද්‍යාලය තුළ කළ හැකි දැයි සැක සහිත බවත්, විශ්වවිද්‍යාල පාලන අධිකාරිය මේ ගැටුම සම්බන්ධව ක්‍රියා කරන ආකාරය අනුව තම දරුවන් එහි හුදකලාව සිටිනා බව තමන්ට හැඟෙන බවද එම දෙමාපියෝ පවසා සිටිති.
ගැටුමෙන් පසු ගැහැනු දරුවන්ද ඇතුළු සියලුම සිසුන් වව්නියාවට ගෙන ගොස් දමා ඇති බවත් ඔවුන් පිළිබඳ කිසිදු සොයා බැලීමක් නොකරන ලදී. යාපනය සරසවියේ කලා පීඨයේ සුළු පිරිසක් මෙලෙස හැසිරීම නිසා විශ්වවිද්‍යාලයේ සමගිය බිඳ වැටීම කනගාටුවට කරුණක් බවත්, විද්‍යා පීඨයේ සිංහල දෙමළ සිසුන් අතර ඉතා හොඳ සමගියක් පවතින බවත් එම දෙමාපියෝ පවසති. කෙසේ හෝ විශ්වවිද්‍යාලයේ සහ ඉන් පිටත සිංහල මාධ්‍ය සිසුනගේ ආරක්ෂාව විධිමත්ව තහවුරු කරන තෙක් තම දරුවන් යාපනය විශ්වවිද්‍යාලයට නොයවන බව එම දෙමාපිය එකමුතුව කියා සිටී.

සනත් ප්‍රියන්ත

උපුටා ගැනීම – ලක්බිම

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*