ඇල්බර්ටා ආර්ථිකය පිළිබඳව මේ දිනවල අසන්නට ලැබෙන පුවත් එතරම් සුබදායක නොවූවත් මෙම පුවත ඊට හාත්පසින්ම වෙනස් වූවකි.

මේ සතියේ TD බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ, ඇල්බර්ටා පළාත පෙර නොවූ විරූ අන්දමේ ඉතාමත් ගැඹුරු හා දීර්ඝතම පසුබැස්මකට මුහුණ දී ඇති අවස්ථාවකදීත් ශක්තිමත් ආර්ථික තත්ත්වයක් රට තුළ පවත්වාගෙන යෑමට සමත් වී ඇති බවයි.

මීට දෙවසරකට පෙර සිට තෙල් මිල පහතට ඇද වැටීමට පටන් ගැනීමත් සමග ඇල්බර්ටාහි ප්‍රධාන පෝෂණ මාර්ගය ඇහිරී යාමට පටන් ගති. එහි ප්‍රතිඵලය වූයේ 2014 වසරේ සිට දළ දේශීය නිෂ්පාදනය (GDP) සියයට 6.5 කින් පහතට වැටීමයි.

විරැකියා අනුපාතය සියයට 8 ක් දක්වා වූ අතර ඇල්බර්ටා ඉතාමත් අසීරු කාලයක් උදා වූ බව නොරහසකි. එහෙත් වසර දෙකක ඒ අඳුරු කාලයට යම් තරමකට විරාමයක් තබමින් මේ වන විට ඇල්බර්ටා ආර්ථිකයේ නව පිබිඳීමක් පිළිබඳ බලාපොරොත්තු දැන් නැවතත් ඇති වෙමින් පවතී.

මෙහිදී තෙල් සහ ගෑස් මත පදනම් වූ ආර්ථිකයෙන් බැහැරට ගොස් වෙනත් නිෂ්පාදන ආර්ථික මාර්ග කෙරෙහි යොමු වීම කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත.

දුෂ්කර කාලයක් ගෙවුණද ඇල්බර්ටා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය රටේ සෙසු ප්‍රදේශ හා සංසංදනය කරද්දී තවමත් ඉහළ අගයක් ගනී. උදාහරණ ලෙස සෙසු ප්‍රදේශවල GDP අගය ඩොලර් 53,000 ක් ලෙස සටහන් වෙද්දී ඇල්බර්ටාහි ඩොලර් 77,000 ක් ලෙස දැක්වේ. මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ සෙසු ප්‍රදේශවල කැනේඩියානුවන්ට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් ඇල්බර්ටා කැනේඩියානුවන් සතු බවයි.

මේ පිළිබඳව කැල්ගරි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂඥ ට්‍රෙයර් ටොම්බ්ගේ අදහස මෙසේයි.

‘ඇල්බර්ටා තවමත් රටේ ශක්තිමත් ආර්ථිකයෙන් යුක්ත වීමට බොහෝ දේ බලපානු ලැබ තියෙනවා. රටේ අනික් සෑම පළාතකටම වඩා මේ පළාතේ ජනගහනයෙන් භාගයකටත් වැඩි පිරිසක් රැකියාවන්හි නියුක්ත වෙලා සිටින්නන්. මේ හැම කෙනෙක්ගෙම ආදායම අද පවා ඕනෑම පළාතකට වඩා වැඩියි. ඒ නිසා ඉදිරියේදී අපට ශක්තිමත්ව නැඟී සිටීමට හැකි බවට ඇති හැඟීම කිසි විටෙකත් නැතිකර ගත යුතු නෑ. මේ වන විට දහස් සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වී ඇති බව ඇත්ත. බොහෝ අය තෙල් හා ගෑස් ආශ්‍රිතව ඍජු ලෙස සේවය කළ කම්කරුවන්. ඇත්තටම බැලුවොත් ඇල්බර්ටා ජනගහනයෙන් සියයට 6 කට අඩු පිරිසක් මේ කර්මාන්තවල යෙදුණේ. බොහෝ අය සිතනවාට වඩා ඇල්බර්ටා ආර්ථික හා රැකියා ක්ෂේත්‍රය විවිධාංගීකරණය වූ එකක්’

‘සේවා අංශ, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, වෘත්තීය හා විද්‍යාත්මක සේවා වගේ රැකියා අංශ වැඩි ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ නිසා අපි අධෛර්ය විය යුතු නෑ’ ආර්ථික විශේෂඥ ට්‍රෙයර් ටොම්බ් පවසයි.

Share this Post