අපරාධයක් හෝ සැක කටයුතු සිදුවීමක් ඇස ගැටුණු විට හෝ එවැනි සිදුවීමක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට හදිසි ඇමතුම් දුරකථන අංකය වන 911 අමතා එA පිළිබඳව දැනුම් දීම සාමන්‍ය ක්‍රමයයි. එහෙත් මේ සුවිශේෂී දුරකථන අංකය අනිසි ලෙස භාවිත කරමින් නොයෙකුත් අමන තකතීරු දේවල් පිළිබඳව පැවසීමට ඇතැම් දෙනෙකු හුරු වී සිටින බව පසුගියදා ඔන්ටේරියෝවේ නිරිතදිග පොලිස් වසමට අයත් Chatham-Kent පොලිසිය විසින් නිකුත් කළ වාර්තාවක් දෙස බැලීමේදී පෙනී යයි.

2016 වසරේදී 911 වෙත ලැබුණු හාස්‍යජනක හා එම අංකය වෙත දන්වා සිටීමේ කිසිදු අදාළතාවක් නොමැති දැනුම් දීම් පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් එම පොලිසිය විසින් නිකුත් කර ඇති අතර එම වාර්තාව විමසා බැලීමේදී, ජනතාව මෙම දුරකථන අංකය මේ ආකාරයට අවභාවිත කරන්නේ මන්ද යන ගැටලුව ඇති වේ.

ගිය වසරේ 911 වෙත කතා කළ එක් පුද්ගලයෙකු විමසා ඇත්තේ ඔහු සිටින පළාතේ ආසන්නතම KFC අවන්හල ඇත්තේ කොහිදැයි යන්නය. තවත් වරෙක 911 වෙත කතා කළ කාන්තාවක විසින් පැමිණිලි ස්වරයෙන් පවසා ඇත්තේ ඇයගේ කේබල් රූපවාහිනී වැඩසටහන් සියල්ල ප්‍රංශ බසින් විකාශනය වන බවත් ප්‍රංශ ජාතිකයකු නොවන ඇයට මෙය හිරිහැරයක් බවත්ය.

මෙවැනි වටිනා අංකයක් අමතා මේ ආකාරයේ නොවැදගත් පණිවිඩ ලබාදීම එම අංකය භාවිත කිරීමට සිටින හදිසි ආපදාවන්ට ලක්වූවන්ට කරන බලවත් අසාධාරණයක් මෙන්ම පොලිස් හදිසි එ්කකවල කාලය කා දැමීමක්ද බව කිව යුතුය. එම නිසා 911 අංකය ඇමතීමේදී තමා විසින් දැනුම් දෙන තොරතුර එම අංකය වෙත දැනුම් දීම සඳහා කෙතරම් අදාළද යන කරුණ පිළිබඳව සියලූම දෙනා අවධානය යොමු කොට සිටීම වැදගත් වේ.

Share this Post