සංක්‍රමණික පදනම මත කැනඩාවට පිළිගැනෙන පිරිස වැඩි කිරීමට ලිබරල් රජය පියවර ගෙන ඇති බව පසුගියදා කැනඩා පුරවැසිභාව හා සරණාගතයින්ගේ කටයුතු පිළිබඳ ඇමති ජෝන් මැකලම් නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව 2017 වසර සඳහා සංක්‍රමණිකයන් ලක්ෂ තුනකට (300,000) ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බව ඇමතිවරයා පවසා ඇත.
මේ ආකාරයට නව සංක්‍රමණික ආගමන වැඩි කිරීම මගින් රටේ ආර්ථීකයට ආකර්ෂණීය වර්ධනයක් ලබා දීමට හැකි වනු ඇතැයි ලිබරල් රජය අපේක්ෂා කරයි. විශේෂයෙන්ම කැනඩාව තුළ වැඩිවෙමින් පවතින වියපත් ජනගහන සංයුතියේ අතිරික්තය පිරවීමට මේ ආකාරයට කැනඩාවට පිවිසිය හැකි සංක්‍රමණික සංඛ්‍යාව වැඩි කළ යුතු බව රජය පෙන්වා දේ.
පසුගියදා මේ පිළිබඳව වූ වාර්ෂික වාර්තාව කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැකලම් අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ, ‘කැනඩාවේ අනාගත ආර්ථීක වර්ධනය සඳහා මෙය අඩිතාලමක් වනු ඇත’ යනුවෙනි.
පසුගිය වසරවලදී කැනඩාවට පිළිගත් සංක්‍රමණික සංඛ්‍යාව පිළිබඳ දත්තයන්හි දැක්වෙන්නේ 2011 සිට 2015 දක්වා 260,000 කට පමණක් අවස්ථාව සලසා දී තිබුණු බවයි. නමුත් 2016 වසරේදී මෙම සංඛ්‍යාව ඉහළ යෑම සිදු වූ අතර ‘විශේෂ තත්ත්වයක්’ ලෙස සලකා සිරියානු සරණාගතයින් 25,000 කට පමණ කැනඩාවේ දොරටු විවර කිරීම නිසා ලක්ෂ 300,000 ක පිරිසක් සංක්‍රමණිකයන් ලෙස කැනඩාවට පැමිණ තිබුණි. මේ වසරේදී පැමිණුනු එම සංඛ්‍යාව පිළිබඳවද අවධානය යොමු කළ කැනඩා රජය ස්ථීර පදනමක් මත පිහිටා 2017 වසර සඳහා සංක්‍රමණික සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇත.
රජයේ නිර්දේශයන්ට අනුව කැනඩාවේ ආර්ථීක වර්ධනය සඳහා ඉදිරි පස් වසර තුළ මෙහි ගෙන ආ යුතු සංක්‍රමණිකයන් සංඛ්‍යාව 450,000 කි. එහෙත් මැකලම් අමාත්‍යවරයා එම ඉලක්කය ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර එහිදී ඔහු පවසා සිටියේ, එම අංකය පිළිබඳව අනාගතයේ යම් දිනක සිතා බැලිය හැකි නමුත් 2017 වසර සඳහා එතරම් ලොකු ඉලක්කයකට යාම සුභදායක නොවන බවයි.
ලිබරල් රජය විසින් ගනු ලැබූ මෙම පියවර සම්බන්ධයෙන් මේ වන විට විවිධ තර්ක විතර්ක මතු වෙමින් පවතින අතර කැනඩාව තුළ විරැකියාව විශාල අරගලයක්ව පවතින මෙවැනි අවස්ථාවක ඉලක්කගත ආගමන සංඛ්‍යාව මෙතරම් වැඩිකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා අප්‍රසාදය පළ කොට ඇත.
2017 සඳහා ඉලක්කගත කොට ඇති සංක්‍රමණිකයන් වැඩිකර ඇති ආකාරය මෙසේය. ආර්ථීක වර්ගීකරණය යටතේ – නිපුණතා සහිත ( skilled workers) , ව්‍යාපාරික ජනතාව සහ caregivers සංඛ්‍යාව 160,600 සිට 172,500 දක්වා ඉහළ දමා ඇත. පවුල් වර්ගීකරණය යටතේ – කලත්‍රයන්, දරුවන්, දෙමව්පියන් ඇතුළු ආසන්න වැඩිහිටියන් (grandparents) සංඛ්‍යාව 80,000 සිට 84,000 දක්වා ඉහළ දමා ඇත.
වාර්ෂිකව කැනඩාවට ගෙන්වා ගන්නා සංක්‍රමණික පිරිස මේ ආකාරයට වැඩිකිරීම සම්බන්ධයෙන් කැනඩා ආණ්ඩු පක්ෂ නායක හා පාර්ලිමේන්තු ලේකම් කෙවින් ලැමොරොක්ස් අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙය රටට පමණක් නොව සංක්‍රමණිකයන්ටද වාසිදායක තත්ත්වයක් වන බවයි. එහිදී මෙරට පවතින රැකියා පුරප්පාඩු පුරවා පළාත්බදවත්, පොදුවේ රටෙහිත් ආර්ථීකය වර්ධනය කරගන්නා ගමන්ම එසේ පැමිණෙන සංක්‍රමණික ජනතාවටද තම ජන ස්වභාවයන් හැඩ ගස්වාගෙන, එ්වා වැඩිදියුණු කරගෙන, යහපත් ආකාරයෙන් කැනඩාව තුළ පවතින සමාජ වියමනට දායක වීමට අවස්ථාව ලැඛෙන බව ඔහු පවසා සිටී.

Share this Post