දිනෙන් දින වැඩිවන ජනගහනයත් සමගම ජීවත්ව සිටින අයටත් ඉදුම් හිටුම් සැපයීම ගැටලු සහගත වී ඇති වටාපිටාවක අන්තිම නින්දට පිවිසියන් පිළිබඳ කුමන කතාද?

මිය යාමෙන් පසු සමාදානයේ සැතපීම සඳහා ටොරොන්ටෝවේ සුසාන භූමියක හතර රියනක් සොයා ගැනීමේ අපහසුතාව නුදුරු අනාගතයේදීම මතුවිය හැකි බව  ටොරොන්ටෝ නගරසභා කවුන්සිලර් ජස්ටින් ඩි සියානෝ පසුගියදා අනතුරු අඟවා සිටී.

මිය යන්නවුන්ගේ අවසන් අයිතිය සම්බන්ධයෙන් අනාගතයේදී ඇතිවිය හැකි මේ තදබදය වැළැක්වීම සඳහා නගරසභාව දැන් සිටම සැලසුම් සහගතව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දේ. ඒ සඳහා දැනට පවතින සුසානභූමිවල ඉතිරිව පවතින ඉඩකඩ පිළිබඳව නිසි තක්සේරුවක් කළ යුතු බවට වූ යෝජනාවක් ටොරොන්ටෝ නගර සභාව වෙත ගෙන ඒමට කටයුතු සකස් කර ඇත. පසුගිය ශීත ඍතුවේදී යෝර්ක් කලාපයේ සුසානභූමිවල ඉතිරිව ඇති ඉඩකඩ සම්බන්ධයෙන් මෙවැනි ගණනයක් ක්‍රියාත්මක කර ඇති අතර ටොරොන්ටෝව තුළත් එය දැඩි අත්‍යවශ්‍ය කටයුත්තක් බව කවුන්සිලවරයා පෙන්වා දේ.

මේ වන විට ටොරොන්ටෝ අවට ප්‍රදේශ 905 ක සුසානභූමි ඉඩම්වල දැඩි තදබදයක් හටගෙන ඇත. වර්තමානයේදී නගරයේ සිදුවන මරණ අනුපාතිකය පිළිබඳ අධ්‍යයනයක් කර ඇති නාගරික සැලසුම් ශිල්පිනි නිකොල් හැන්සන් පවසන්නේ, ටොරොන්ටෝව කඩිනමින් මේ සම්බන්ධව නිසි කළමණාකරණ සැලසුම් සකස් නොකළහොත් ඉදිරි වසර 10-15 තුළදී සුසානභූමි තුළ පවතින තදබදය අවම කළ නොහැකි වනු ඇති බවයි. ‘නගරය තුළ ජනගහනය වැඩි වුණාට මෙහි තියෙන ඉඩම් ප්‍රසාරණය වන්නේ නෑ’ යි ඇය පවසයි. සුසානභූමිවල බිම් අයිතීන් එක් එක් පවුල් විසින් ‘පවුලේ සුසානභූමි’ ලෙස වෙන් කරගෙන තිබීමද මළවුන්ගේ ඉඩකඩ සීමිත වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් බව නිකොල් හැන්සන් පවසයි. මෙය දැන් හුදෙක් දේපළ වෙළඳාමක ලක්ෂණ ගෙන ඇති බවත් නගරයේ මිනී වළවල් මිලෙන් අධික වන විට තම මිනී වල මිල අඩු සොහොන් පිටිවලින් සොයාගෙන යෑමට ජනතාවට සිදුවී ඇති බවත් ඇය පවසයි. ටොරොන්ටෝ මිනී වළවල්වල මිල ඉහළ යෑමත් සමග අද බොහෝ නාගරිකයන් තම ළබැඳියන්ගේ මළ සිරුරු වළ දැමීමට වඩා දවාලීමට හුරුවී ඇති බවද ඇය පෙන්වා දේ.

තම සමාගම සතු සුසානභූමිවලද ඉඩකඩ සීමිත වෙමින් පවතින නමුත් සුසානභූමි හයක තවමත් යම්කිසි ඉඩ පහසුකම් ඇති බවත් ParkLawn සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත. එහෙත් ටොරොන්ටෝ සුසානභූමිවල ඉඩ අවකාශ පිරිහෙමින් පවතින බවට කිසිදු සැකයක් නොමැති බව ඔහුද පවසා සිටී.

ටොරොන්ටෝවේ ඉඩම් පරිහරණ සැලසුම්කරණයේදී සුසානභූමි පිළිබඳව සැලකිල්ල යොමු නොකිරීම නිසා මෙවැනි අර්බුදයක් පැන නැගී ඇති බවත් අලුතින් සුසානභූමි ඉදිකිරීමට හෝ පවතින සුසානභූමිවල ඉඩකඩ වැඩිකිරීමට හෝ ඉඩම් ලබාදීමට ටොරොන්ටෝව අපොහොසත් බවත් ක්‍රම සහ සම්පාදන උපදේශක මයිකල් ලර්කින්ගේ අදහසයි.

‘ඔබ සතුව නිවසක්, දේපළක් තිබුණත් ඒ සියල්ල තාවකාලික නවාතැන්පොළවල්. ඔබට සදාකාලික සැතපිය හැකි අයිතිය හිමි වන්නේ සුසානභූමියේෙ හතර රියනක පමණයි. අනාගතයේදී ටොරොන්ටෝ වැසියන්ටඑයත් අහිමි වන ලකුණු නොවේද මේ පැවසෙන්නේ…?’

Share this Post