ලොව පුරා සංචාරක දත්ත තොරතුරු ඇතුළත් කොට ප‍්‍රකාශයට පත් කෙරෙන Lonely Planet සඟරාව මගින් 2019 වසර සඳහා සංචාරයට සුදුසු යැයි නම් කර ඇති රටවල් 10 අතර ඉහළින්ම ඇත්තේ ශ‍්‍රී ලංකාවයි.
සමකාසන්නයේ (equatorial) පිහිටි රටක් ලෙස නිරන්තර වෙනස්වීම්වලට භාජන වන ශ‍්‍රී ලංකාව, ආගමික හා සංස්කෘතික අංගයන් සමග බැඳුණු අද්විතීය සිද්ධස්ථාන රැුසකින්ද ඉතාමත් අනර්ඝ ස්වභාවික වනජීවී ප‍්‍රවේශයකින්ද යුක්ත වන බව Lonely Planet ප‍්‍රධාන වශයෙන් දක්වා සිටී. දශක කීපයක් පුරා පැවති සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු යළි පණ ගැන්වෙන රටක් ලෙස පවතින ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාරය සහ සුහඳශීලීත්වය පිළිබඳවද එහි විශේෂයෙන්ම සඳහන් කොට ඇත. යුද සමයේදී උතුර සහ නැගෙනහිර පළාත්වලට යෑමේදී පැවති සීමාවන් මේ වන විට ඉවත් කර ඇති නිසා රටෙහි සෑම පළාතකටම පහසුවෙන් සංචාරය කිරීමේ අවස්ථාව ලැබී ඇති බවත් එහි සඳහන් වේ.
ලෝක ප‍්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ ශ‍්‍රී ලංකාව හොඳම ගමනාන්තය ලෙස නම් කිරීමේදී සංචාරය කළ යුතුම ස්ථාන 12 ක් වීඩියෝ පටයක් මගින් පෙන්වා දී ඇත. ශ‍්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීර කීපයක්ද කන්ද උඩරට දළදා මාළිගාව, පේරාදෙණිය උද්භිද උද්‍යානය, තේ වගාව ආදියද අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය ඇතුළු පුරාවිද්‍යාත්මක හා වාස්තුරූපී වටිනාකමකින් යුත් ස්ථානද උඩවලව ජාතික වනෝද්‍යානය, සීගිරිය හා ගාලූ පුරවරයද ඇතුළත් කොට නිමවා ඇති එම වීඩියෝ පටයෙහි දුම්රියෙන් ශ‍්‍රී ලංකාව තුළ සංචාරය කිරීම සුවිශේෂී අත්දැකීමක් විය හැකි බවද සඳහන් කරයි.
මෙම සඟරාව සෑම වසරකම මේ ආකාරයට යා යුතු හොඳම රටවල්, නගර, කලාප හා ඉහළ අගයයෙන් යුත් ස්ථාන 10 ක් නම් කරන අතර මෙවර හොඳම රටවල් 10 අතර පවතින සෙසු රටවල් මෙසේය.
1. ශ‍්‍රී ලංකාව 2. ජර්මනිය 3. සිම්බාබ්වේ 4. පැනමා 5. කිර්ගිස්තාන් 6. ජෝර්දාන් 7. ඉන්දුනීසියා 8. බෙල්රුස් 9. São Tomé & Príncipe 10. බෙලිස්.

Share this Post