ශ්‍රී ලංකාවේ ස්වභාවික වනපෙත්, තෙත්බිම් හා වනජීවීන් ආරක්ෂා කර ගැනීමත්, විවිධ අනවසර ක්‍රියාවන් හේතුවෙන් අවදානමට ලක්ව ඇති සත්ව වාසස්ථාන විනාශ වීම අවම කර ගැනීමත් ඉලක්ක කර ගනිමින් එ් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. එ් අනුව එහි මූලික පියවරක් වශයෙන් පහත සඳහන් ස්ථාන අභය භූමි සහ නව සාගර ආරක්ෂිත කලාප ලෙස නම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.

• කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි කහගල්ල – පල්ලේකැලේ අභය භූමියේ කලා වැවට හා බළලූ වැවට අයත් වනාන්තර ප්‍රදේශ ‘කලාවැව ජාතික උද්‍යානය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම
• එම භූමියේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉතිරි වනාන්තර ප්‍රදේශ ‘කහගල්ල පල්ලෙකැලේ ජාතික උද්‍යානය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම
• ත්‍රිකුණාමලයෙහි පාසිකුඩා ප්‍රදේශය ආශ්‍රිත සාගර කලාපය ආවරණය වන පරිදි එම ප්‍රදේශය ‘කායන්කර්ණි සමුද්‍රීය ස්වභාව රක්ෂිතය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම
• කුරුණෑගල නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොටුඅත්තාවල වැව ආශ්‍රිත වන භූමි ප්‍රදේශය ‘කොටුඅත්තාවල අභය භූමිය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම
• ගාල්ල දිස්ති්‍රක්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අකුරල තෙත් බිම ‘අකුරල වනජීවි අභය භූමිය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම
• කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොටිගහකන්ද වන පෙත ‘කොඩිගහකන්ද වනජීවි අභය භූමිය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම
• ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වෙරළට ඔබ්ඛෙන් පිහිටි කුඩා රාවණා හා මහා රාවණා ප්‍රදීපාගාර පිහිටි කොරල්පර ඇතුළත් සාගර කලාපය ‘කුඩා රාවණා මහා රාවණා සමුද්‍රීය අභය භූමිය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම
• ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාදු ගඟ අභය භූමියේ මායිම් සංශෝධනය කිරීම

Share this Post