සේවක වැටුප් සංශෝධන කරමින් කැත්ලීන් වේන්ගේ ලිබරල් රජය විසින් ගෙන ආ Bill 148 සංශෝධනය කිරීමට ෆෝඞ් රජය සැරසේ. පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී ෆෝඞ් මේ බව ප‍්‍රකාශ කර ඇත.
මෙම පනත සංශෝධන කිරීම ඇතැම් විට ඔන්ටේරියෝවේ අර්ධකාලීන රැකියාවල නියුක්ත වූවන් බලපෑම් එල්ල කළ හැකි බව මේ පිළිබඳ අදහස් දක්වන විශ්ලේෂකයින්ගේ අදහසයි. ලිබරල් රජය ගෙන ආ එම පනත මගින් අර්ධ කාලීන රැකියාවල නියුක්ත වූවන්ගේ වැටුප් පිළිබඳ සුරක්ෂිතතාවක් ලබා දී තිබූ අතර එහිදී සමාන රැකියාවන් කරන පූර්ණකාලීන සේවකයින්ට හා සමාන වැටුපක් අර්ධ කාලීන රැකියාවල නියුක්ත වන්නන්ටත් ලබාදිය යුතු බව සඳහන් වී තිබුණි. එසේම සේවකයින් සඳහා හදිසි නිවාඩු 10 ක් අනිවාර්ය කර තිබූ අතර එයින් 2 ක් පඩි සහිත නිවාඩු විය යුතු බවද එම පනතේ සඳහන්ව තිබුණි.
148 වෙනි පනත සංශෝධනය කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෆෝඞ් පැවසූවේ, ‘බිල් 148 ඉවත් කිරීම කළ යුතු දෙයක්. මෙම පනත ගෙන එ්මත් සමග සේවකයින් 60,000 කගේ පමණ රැකියා අහිමි වී ඔවුන් අසරණ වුණා. කර්මාන්ත කරුවන්, ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවන්ට පත් වුණා. කර්මාන්ත, සමාගම්, ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම තුළින් පමණයි රැකියා සුරක්ෂිතතාව සැලසෙන්නේ’ යනුවෙනි.
මේ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ ෆෝඞ්, ‘මෙම පනත නිසා අපි හැමෝටම ණයකරුවන් වුණා. සමස්ත ලෝකයේම ලොකුම ණයකරුවා බවට ඔන්ටේරියෝව පත් වුණා. ඔන්ටේරියෝ ජනතාව අමාරුවේ දමා ලිබරල් රජය මේ කළ දේට ස්තූතිය පළ කළ යුතුයි.’ යනුවෙන් පැවසූවේ දැඩි උපහාසයෙනි.
මෙම පනත පවතින තෙක් ඔන්ටේරියෝව තුළ ව්‍යාපාර අරඹන ලෙස පිටස්තර ලෝකයට ආරාධනා කළ නොහැකි තත්ත්වයක් පවතින බවත් ආදායමට වැඩි වියදමක් ඇති තැනක ව්‍යාපාර කිරීමට කිසිවෙකුත් කැමති නැති බවත් ෆෝඞ් පෙන්වා දේ.
148 වෙනි පනත 2017 නොවැම්බර් මාසයේදී ලිබරල් රජය විසින් සම්මත කර ක‍්‍රියාත්මක කළ අතර එහිදී ඔන්ටේරියෝවේ අවම වැටුප ඩොලර් 14 දක්වා ඉහළ දැමීම සිදුකෙරුණි.
මෙවර 148 වෙනි පනත සංශෝ්ධනය කිරීමේදී වර්තමානයේ අවම වැටුප ලෙස දැක්වෙන ඩොලර් 14 තවදුරටත් ක‍්‍රියාත්මක වන බව ෆෝඞ් රජය පවසයි. නමුත් එම පනතෙහි ඇතැම් ස්ථාන විශාල වශයෙන් වෙනස්කම්වලට භාජන කළ යුතු බවත් එ් පිළිබඳව අදාළ අංශ වෙතින් උපදෙස් ලබාගනිමින් පවතින බවත් සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම සංශෝධන ඉදිරි සති කීපය තුළදී සිදුකොට පාර්ලිමේන්තුව වෙත ඉක්මනින් පනත ගෙනවිත් සම්මත කොට ක‍්‍රියාත්මක කිරීමට ෆෝඞ් රජය බලාපොරොත්තු වේ.

Share this Post