රජය කිසිදු අවස්ථාවක විදේශ අධිකරණ ගෙන එන්නේ නැති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසා සිටී. මේ පිළිබඳව බොහොම පැහැදිලි ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශකර තිබෙන බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී  ජූලි 14 වන දින දින ආරම්භ වූ දිසාපති සමුළුවේ ආරම්භක සැසියට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර දේශීය යාන්ත්‍රණයක් තුළ මේ ප්‍රශ්නය විසඳන බවද සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, සහ සංවර්ධනය ප්‍රධාන තේමා 3ක් යටතේ රජය කටයුතු කරන බවත් මේ කටයුතු සිදු කිරීමේදී මාධ්‍ය සහ වෙනත් කණ්ඩායම් වැරදි මත පළ කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

“2015 ජනවාරි 08 රට ගෙන ගිය ගමන් මග අපට වෙනස් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා රටේ කීර්තිය, හමුදාවේ කීර්තිය, ජනතාවගේ කීර්තිය ආරක්ෂාකර ගැනීමට අපට හැකි වුණා.සියලුම ජනතාව එකතු වී අපට නිදහස දිනා ගැනීමට හැකි වුණා.එහෙත් නිදහස ලබාගැනීමෙන් පසු අපි ජාති, ආගම් ලෙස බෙදුණා. මනාප ක්‍රමය පැමිණි පසු කුල ලෙසත් බෙදුණා.අවසානයේදී අපට ඉතිරි වුණේ තිස් වසරක යුද්ධයක් සහ තරුණ කැරලි දෙකක ලේ විලක් පමණයි. දැන් හෝ කුලල් කා ගැනීම් නවතා ශ්‍රි ලාංකික ජාතියක් ලෙස මේ රට ගොඩනගන්න අවශ්‍යයි” අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්,සංහිඳියා සම්බන්ධීකරණ කාර්යාලයේ මනෝරි මුත්තෙටුවෙගම,ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share this Post