ශ‍්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගන තුළ වසර පහකට පමණ ප‍්‍රමාණවත් වාහන තොග පවතින බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකින් හෙළි වී ඇත. මේ තොරතුරු සත්‍ය බව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලින්ද සනාථ කොට ඇත.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවීණ ආර්ථික විශේෂඥයන් පිරිසක් විසින් වාහන වෙළඳපොළ පිළිබඳව කරන ලද මෙම විශේෂ අධ්‍යයනයට අනුව 2018 ජූලි මස 01 වන දින වන විට රටෙහි පැවති වාහන තත්ත්වය පිළිබඳව මෙසේ අනාවරණය කොට ගෙන ඇත.
ශ‍්‍රී ලංකාවේ වාර්ෂික කාර් අවශ්‍යතාව 45,000 ක් පමණ වුවත් මේ වන විට රට තුළට ආනයනය කර ගාල් කොට ඇති කාර් රථ සංඛ්‍යාව 2,34,000 කි. රටෙහි වසරක ද්විත්ව කාර්ය වාහන අවශ්‍යතාව 4000 ක් වුවත් දැනට ගබඩා අංගනවල මෙම වර්ගයේ වාහන 24,276 ක් පවතී. වාර්ෂිකව අලෙවි වන ත‍්‍රිරෝධ රථ සංඛ්‍යාව 20,000 ක් පමණ වුවත් ගබඩා තුළ මේ වන විට ත‍්‍රිරෝධ රථ 1,68,419 ක් පමණ ගාල් කොට ඇත. රටේ වාර්ෂික මෝටර් සයිකල් අවශ්‍යතාව 3,000,00 ක් වුවත් මෝටර් සයිකල් අලෙවිකරුවන් ළඟ මෝටර් සයිකල් 9,43,920 ක් පවතී.
මෙම සංඛ්‍යාලේඛන පිළිබඳව අවධානය යොමු කිරීමේදී වසර 5 කට පමණ ප‍්‍රමාණවත් වාහන තොගයක් මේ වන විට රට තුළට එකවර ආනයනය කර තිබෙන බව එම සමීක්ෂණය පෙන්වා දේ. රටෙහි පවතින බරපතළ විදේශ විනිමය අර්බුදයට මෙය ප‍්‍රධාන හේතුවක් වී ඇති බව මෙම සමීක්ෂණය සිදුකළ විශේෂඥයෝ පෙන්වා දෙති.

Share this Post