බරපතල වැරදි කොට බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් අධිකරණ කරා ගෙන යෑමේදී ඔවුනට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදහස් කොට ඇත. එවැනි රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම ඒකකය පිහිටුවීමට තීරණය කොට ඇත.

මේ සඳහා ලංකාව පුරා බන්ධනාගාරවල සේවය කරන සුදුසුකම් සහිත නිලධාරීන් සහ අලුතින් බඳවාගන්නා නව නියාමකවරුන් ද යොදාගැනීමට අදහස් කෙරේ. 2017 වසර සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නවක නියාමකවරුන් 800 දෙනෙකු පමණ බඳවා ගැනීමට නියමිත අතර එයින් තෝරාගන්නා සුදුසුකම් සහිත පිරිසද මෙම විශේෂ ඒකකයට ඇතුළත් කරති.

මෙහිදී තෝරාගනු ලබන බන්ධනාගාර නිලධාරීන්ට විශේෂිත එස්. ටී. එෆ්. පුහුණුව ලබාදීමට පොලිස්පතිවරයා කැමැත්ත පළ කර තිබේ. පුහුණුවෙන් පසු මේ පිරිස රට පුරා ඇති බන්ධනාගාර 23 ක සේවයට යෙදවීමට නියමිතයි.

පසුගියදා පාතාලයේ ප්‍රබලයෙකු ලෙස සැලකෙන සමයං ඇතුළු පිරිසක් බන්ධනාගාරයට රැගෙන යන අතරතුර තවත් පාතාල කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් මරුමුවට පත්විය. මෙහිදී මෙම පාතාලයන් බන්ධනාගාරයට ගෙන යෑම සඳමා පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබුණත් නිලධාරීන්ගේ හිඟතාව මත එය ඉටුවී නොමැති බව පැවසේ. මෙවැනි පුද්ගලයන් රැගෙන යෑමේදී දැඩි ආරක්ෂක විධිවිධාන අවශ්‍ය වන අතර බන්ධනාගාරය විසින්ම මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් ඉදිරියේදී නිසි පරිදි ආරක්ෂාව සපයා ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

 

 

Share this Post