දශක පහක පමණ කාලයක් කලා ලොව බැබළවූ සුවිශේෂී රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අද (8) අභාවප්‍රාප්ත විය.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා කළුබෝවිල රෝහලට රැගෙන විත් ඇති ඒ මහතා රෝහල්ගත කිරීමට පෙර මිය ගොස් ඇතැයි වාර්තා වේ.

1944 වසරේදී උපත ලබා ඇති ඒ මහතා රංගන දිවියට පිවිස ඇත්තේ 1966 වසරේදිය. ඒ අමරදාස ගුණවර්ධනයන්ගේ ‘විදුර දිව’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වීමෙනි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමෙ වේදිකා නාට්‍යයේ මනමෙ කුමරු ලෙස වසර 27 ක් රංගනයෙන් දායක වී ඇති  විජය නන්දසිරි ඒ පිළිබඳව පවසා තිබුණේ එය සිය රංගන ජීවිතයේ විශාල සන්ධිස්ථානයක් වූ බවයි.

බක්‌මහ අකුණු, බක තපස්‌, සිංහබාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිළෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, කපුවා කපෝති, සුබ සහ යස, කුස පබාවතී ආදි වේදිකා නාට්‍යවල රඟපාමින් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නාට්‍යවේදීන් සියල්ලන් සමගම කටයුතු කිරීමේ භාග්‍යය විජය නන්දසිරි විසින් හිමිකරගෙන තිබුණි.

නෑදෑයෝ, බංගලි වළලු, සඳකඩ පහණ, හිඟන කොල්ලා, සිරිපතුල වැනි චිත්‍රපට රැසකට දායකත්වය දී ඇති ඒ මහතා මෑතකදී රංගනයෙන් දායක වූ සිකුරු හතේ සහ සුහද කොකා තුළින් ජනතාවට වෙනස්ම වූ ප්‍රහසණ රසයක් ලබා දීමට සමත් වී තිබුණි.

රූපවාහිනි ටෙලි නාට්‍ය තුළද නැතිවම බැරි රංගන ශිල්පියෙකු වූ විජය නන්දසිරි විශාල ටෙලි නාට්‍ය සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය සපයා ඇත.

ප්‍රකට ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ශිල්පිනියනික වූ දේවිකා මිහිරානිගේ සැමියා වූ විජය නන්දසිරි මහතා දෙදරු පියෙකි.

සිනහ වන්නට බැරි මිනිසුන් සිනහ සයුරේ ගිල්වූ ආදරණීය කලා කරුවානනි, ඔබට සුභ ගමන්…!

 

විජය නන්දසිරි මහතා සමග කළ සාකච්ඡාවක්

 

 

Share this Post