පෘථීවියේ සිට ආලෝක වර්ෂ 39 ක් ඈතින් පෘථීවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක හතක් සොයාගත් බවට නාසා තාරකා විද්‍යාඥයින් පසුගියදා නිවේදනය කොට තිබුණි. මෙම ග්‍රහලෝක 7 ම එකම තරුවක් වටා භ්‍රමණය වන බවත් ජීවයට හිතකර ජලය, වාතය වැනි සාධක එම ග්‍රහලෝක තුළ පැවතිය හැකි බවත් ඇමරිකාවේ ජාතික ගගනගාමි හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය (NASA) පවසා සිටී.
ආකාශ විද්‍යාඥයින් විසින් කරන ලද නිරීක්ෂණයන්හි ප්‍රතිඵල ලෙස මින් පෙරද විවිධ ග්‍රහලෝක සොයාගෙන ඇතත් එකම තරුවක් වටා කක්ෂගතව කැරකෙන ග්‍රහලෝක 7 ක්ම එකවර සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ග්‍රහලෝක 7 ට මග පෙන්වන මේ එකම තාරකාව TRAPPIST 1 ලෙස හඳුන්වා දී ඇත. මෙම තාරකාව අපගේ සූර්යයාට වඩා දස ගුණයකින් පමණ කුඩා වන අතර එයින් හතරෙන් එකක් පමණ වූ උෂ්ණත්වයකින් යුක්ත බව පැවසේ. කෙසේ වුවත් ට්‍රැපිස්ට් 1 අපේ සූර්යයාට සම කළ නොහැකි බවත් එය කුඩා අඳුරු රතු වාමන තරුවක් (Dwarf Star) බවත් පැවසේ.
පෘථීවියට සමාන වූ ග්‍රහලෝක පද්ධතිය පිළිබඳ මෙම අනාවරණය නාසා ආයතනය විසින් පසුගිය වසරේ මැයි මාසයේදී සිදුකොට තිබුණු අතර එහිදී ඔවුන් පවසා තිබුණේ එකම තරුවක් වටා කැරකෙන පෘථීවියේ විශාලත්වයට සමාන ග්‍රහලෝක 3 ක් සොයා ගැනීමට ලැබුණු බවයි. ඉන් අනතුරුව ප්‍රබල දුරේක්ෂ හා නවීන තාක්ෂණ ක්‍රම යොදාගනිමින් එ් පිළිබඳව වැඩිදුරටත් කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස එම තාරකාව වටා ග්‍රහලෝක 7 ක්ම භ්‍රමණය වන බව තහවුරු කර ගැනීමට ලැබී ඇත. මෙම නිරීක්ෂණ කටයුතු සඳහා චිලි රාජ්‍යයෙහි පිහිටි VLT දුරේක්ෂයත්, නාසාහි Spitzer දුරේක්ෂයත්, Transiting Planets and Planetesimals කුඩා දුරේක්ෂයත් යොදාගෙන ඇත.
මෙම ග්‍රහලෝක පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන ඛෙල්ජියම් ලීජ් සරසවියේ (University of Liege) තාරකා විද්‍යාඥ මයිකල් ගිලන් පවසා ඇත්තේ, ට්‍රැපිස්ට් 1 වටා ඇති ග්‍රහලෝක අතරින් තුනක හෝ මතුපිට සාගර කලාප පැවතිය හැකි බවයි. එහිදී එම ග්‍රහලෝක පිහිටා ඇති ස්ථාන පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට ඇත. ට්‍රැපිස්ට් 1 තරුවට කිට්ටුවම පිහිටා ඇති ග්‍රහලෝක 3 තුළ අධික උෂ්ණත්වයක් පැවතිය හැකි නිසා ජලය නොරැඳීමෙන් ජීවීන්ගේ පැවැත්මක් සිතිය නොහැකි බවත් ඈතින්ම පිහිටි 7 වෙනි ග්‍රහ ලෝකය අධික සීතලෙන් යුක්ත නිසා එහිද ජීවීන් ඇතැයි සිතිය නොහැකි බවත් ඔවුහු පවසති. එහෙත් 4, 5, 6 යන ග්‍රහලෝක ත්‍රිත්වයෙහි ජීවීන්ගේ පැවැත්මට හිතකර නියමිත වායුගෝල හා පරිසර පද්ධතියක් තිබිය හැකි බව අනුමාන කෙරේ. එසේ වන්නේ නම් පෘථීවියේ මෙන්ම සාගර, විල් හා ගංගා ආදිය මෙම ග්‍රහලෝක තුළ තිබිය හැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි.
ට්‍රැපිස්ට් 1 වටා පවතින ග්‍රහලෝක 7 හි විශාලත්වය පිළිබඳවද විවිධ අදහස් පළ කෙරෙන අතර එම ග්‍රහලෝකවලින් 5 ක්ම විශාලත්වය අතින් පෘථීවියට බොහෝදුරට සමාන වන බවත් අනෙක් ග්‍රහලෝක දෙක තරමක් කුඩා බවත් පැවසේ. එමෙන්ම තරුවට ආසන්නයේ පිහිටි ග්‍රහලෝක 7 ම පාෂාණවලින් සෑදී ඇති බවත් තරුවට ඈතින් ඇති අනික් ග්‍රහලෝකය අයිස්වලින් සෑදී ඇති බවත් විද්‍යාඥයින්ගේ අදහසයි.

Share this Post