ශිෂ්ට සම්පන්න ලෝකය පිළිකුලෙන් හෙළා දකින මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය කැනඩාවේ ආර්ථිකය තුළද දෝංකාර දෙමින් කැනඩාව සහ සෞදි ආරබිය අතර පවතින ගනුදෙනුවලටද අහිතකර අන්දමින් බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇත.
මෙහිදී කැනඩාව සහ සෞදි ආරාබිය අතර පවතින ඩොලර් බිලියන 15 ක අවි ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇත. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දැක්වූ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ පැවසූවේ, කැනේඩියානු ඉතිහාසයේ විශාලතම ආයුධ ගනුදෙනුව වන මෙය අවලංගු කළහොත් කැනේඩියානුවන් විසින් සෞදිය වෙත ‘සැලකිය යුතු මූල්‍යමය දඩයක්’ ගෙවිය යුතු බවයි. මෙම අවි ගනුදෙනු කොන්ත‍්‍රාත්තුව හිටපු හාපර් රජය විසින් 2014 දී අත්සන් කරන ලද අතර පසුව ටෲඩෝ රජය විසින්ද එය අනුමත කොට පවත්වාගෙන යන ලදී.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ටෲඩෝ පැවසූවේ මාධ්‍යවේදියකු විදේශ පොළොවක් මත මෙතරම් කෲර ලෙස ඝාතනය කිරීම කැනේඩියානුවන්, කැනඩාව සහ ලොව පුරා සිටින සාමකාමී පුද්ගලයින් අතිශයින් කම්පාවට පත් කරවන්නක් බවයි.
කෂෝගී ඝාතන සිදුවීම මේ වන විට ලොව පුරා විවිධ පුවත් මවන ප‍්‍රධාන මාතෘකාවක් වී ඇති අතර සෞදි රජය වෙත එල්ල වෙන එම ඝාතන චෝදනාව ඔවුන් ප‍්‍රතික්ෂේප කර සිටී. එහෙත් කැනඩාව ඇතුළු සෙසු රටවල් පවසන්නේ එම චෝදනාව ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව විශ්වසනීය කරුණු පැහැදිලි කිරීමක් සෞදි රජය මගින් කළ යුතු බවත් මෙම ඝාතනය පිළිබඳව සවිස්තරාත්මක විමර්ශනයක් පැවත්විය යුතු බවත්ය.
මීට මාස කීපයකට පෙර සිටම (කෂෝගි ඝාතනයට පෙර* කැනඩාව සහ සෞදි රජය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා පළුදු වී ගොස් තිබුණු අතර එහිදී කැනඩාවේ සිටි සෞදි තානාපතිවරයා පමණක් නොව මෙහි අධ්‍යාපනය ලැබූ එරට සිසුන් පවා නැවත ගෙන්වා ගැනීමට සෞදි රජය කටයුතු කර තිබුණි. සෞදි රජය විසින් එරට සිවිල් සමාජයේ සාමාජිකයන් සහ ස්ත‍්‍රි අයිතිවාසිකම් පිළිබඳ ක‍්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව කැනඩා රජය විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මෙම සබඳතා අතහැර දැමීමට මුල් විය. එහිදී සෞදියෙහි අභ්‍යන්තර කටයුතුවලට අත නොගසන ලෙස කැනඩාව වෙත දැඩි ප‍්‍රකාශයක් කිරීමට සෞදි රජය පියවර ගෙන තිබුණි.
කෂෝගි ගේ ඝාතනයත් සමග තත්ත්වය වඩාත් බරපතල වී ඇති අතර සෞදියට විරෝධය පළ කිරීම සඳහා කැනඩාව විසින් සෞදිය සමග අත්සන් තබා ඇති අවි ගනුදෙනුව නවතා දැමිය යුතු බව මානව හිමිකම් සංවිධාන ඇතුළු වෙනත් පිරිස් පවසා සිටී. එහෙත් මෙම අවි ගනුදෙනුව අතහැරීම සිදුකළහොත් කැනඩාව විසින් එ් සඳහා ඩොලර් බිලියන 1 ඉක්ම වූ වන්දියක් ගෙවීමට සූදානම් විය යුතු බව රජය පවසයි.
මේ අතර කැනඩාවේ විපක්ෂ මේ පිළිබඳව අදහස් දක්වමින්, කැනේඩියානු රජය විසින් සෞදි ආරාබිය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටීම කළ යුතු බව පවසයි. මෙහිදී එන්.ඞී.පී. පක්ෂයේ අදහස වී ඇත්තේ මෙම අවි ගනුදෙනුව කැනඩාව විසින් අවලංගු කළ යුතු බවයි. කොන්සර්වේටිව් නායකයා අවි ගනුදෙනු ගැටලූව පසෙක තබා සෞදිය හා කැනඩාව අතර පවතින තෙල් ගනුදෙනුව පිළිබඳව අදහස් දක්වා ඇති අතර ඔහු පවසන්නේ සෞදි තෙල් ආනයනය තහනම් කිරීම සඳහා වහාම පියවර ගත යුතු බවයි.

Share this Post