[vc_row][vc_column][vc_column_text]

දිනෙන් දින ව්‍යාකූල වන කැනඩා රැකියා තත්ත්වය තුළ තමන්ගේම කියා ව්‍යාපාරයක නිරත වීම බොහෝ දෙනෙකු තුළ පවතින සිහිනයක් විය හැකියි. ඇතැම් අවස්ථාවල නියත වැටුපක් සහ වෙනත් ප්‍රතිලාභ (සෞඛ්‍ය රක්ෂණ ආදි පහසුකම්) සහිත රැකියාවක නිරත වීම සුදුසු යැයි හැඟුනද රැකියා තුළ පවතින අවිනිශ්චිත තත්ත්වය මත බොහෝ දෙනෙකු ව්‍යාපාර කිරීමට කැමැත්තක් දක්වති. එහෙත් ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ කිසිදු දැනුමකින් තොරව ඒ සඳහා අත ගැසීමද තරමක අවදානම් කාර්යයකි. ‘දැන වෙළඳාම් නොදැන ගොවිතැන්’ යනුවෙන් ලංකාවේ කියමනක්ද ඇත්තේ ඒ නිසාය. කෙසේ වුවත් කැනඩාව තුළ ව්‍යාපාරයක් කිරීමේදීද එම කියමන හොඳින් ගැළපෙන අතර එම නිසා ව්‍යාපාර ක්ෂේත්‍රයට එක්වීමට ඔබත් කැමැත්තෙන් සිටී නම් ඒ පිළිබඳව පෙර හැදෑරීමක් කිරීම සුදුසු බව මුලින්ම දන්වා සිටිමු. ඒ සඳහා කාලය මඳක් වැය කළ යුතු වුවත් එයින් ලැඛෙන ප්‍රතිලාභය ඛෙහෙවින් වැඩි බව කිව යුතුය.

මෙහිදී පළමුවෙන් කළ යුත්තේ ඔබට කළ හැකි ව්‍යාපාර ක්ෂේත්‍රයක් පිළිබඳ සොයා බැලීමයි. ඒ සඳහා ඔබගේ ඔබ පවුලේ අයගේ මෙන්ම හිතෙෂිවන්තයින්ගේ උපදෙස්ද ලබාගත හැකි අතර විශේෂයෙන්ම දේපළ අලෙවියේ ව්‍යාපාර ක්ෂේත්‍ර කටයුතු පිළිබඳ දැනුමක් ඇති දේපළ අලෙවි නියෝජිතවරයකුගේද සහාය ලබා ගැනීම සුදුසු වේ.

සුදුසු ව්‍යාපාර ක්ෂේත්‍රය තෝරා ගැනීමෙන් පසු ඒ පිළිබඳව යම් විමර්ෂනාත්මක අවධානයක් යොමු කළ යුතු අතර එතුළින් එම තෝරා ගත් ක්ෂේත්‍රය ඔබ වෙත ගැළපෙන්නේද නැද්ද යන්න පිළිබඳව නැවත නැවතත් සිතා බැලීමේ අවස්ථාව ඔබට හිමිවේ.

ව්‍යාපාරයක් සඳහා සුදුසු ස්ථාන

මෙය ඔබ තෝරාගන්නා ව්‍යාපාර ක්ෂේත්‍රය අනුව වෙනස් වේ. බොහෝ විට සුළු ව්‍යාපාරවල නිරතව සිටින පිරිස් එය තම නිවස තුළ හෝ නිවසෙහි බේස්මන්ට් කොටස තුළ සිදුකරතත් එය කැනඩාවෙහි නීත්‍යනුකූල නොවන බව කිව යුතුය. එහෙත් වටාපිටාවට, අසල්වැසියනට හානියක් නොවන ආකාරයෙන් විශාල දැන්වීම් පුවරු ආදිය යොදා නොගෙන එම කටයුතු සිදුකරන්නේ නම් ඇති විය හැකි බාධාවන් අවම කරගැනීමට ලැඛෙන බවද කිව යුතුව ඇත.

එහෙත් නීත්‍යනුකූල ලෙස ව්‍යාපාර ස්ථානයක් පවත්වා ගැනීමේදී ඒ සඳහා සුදුසු ස්ථානයක් මිල දී ගැනීම හෝ කුලී පදනම මත ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවැනි ස්ථානයක් සොයා ගැනීම වෙළඳ දැන්වීම් මගින් මෙන්ම ඔන්ලයින් මාර්ගයෙන්ද සිදුකළ හැක. එහෙත් මෙහිදී සැලකිලිමත් විය යුතු ප්‍රධානම කරුණ වන්නේ ඇතැම් අවස්ථාවල පෞද්ගලිකව ව්‍යාපාර විකුණන්නන් විසින් ලබා දෙන කූඨ තොරතුරු සම්බන්ධවයි. එම නිසා මෙවැනි ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී ඒ සඳහා දේපළ වෙළඳාම් අලෙවි නියෝජිතවරයකුගේ සහාය ලබාගැනීම තුළින් මෙවැනි අවස්ථාවන් මගහැර ගැනීමේ අවස්ථාව ඔබට සැලසේ. කෙසේ වුවත් ඔබ තනිව ව්‍යාපාරයක් මිල දී ගැනීමට සූදානම් වන්නේ නම් ඒ වෙනුවෙන් අවසන් තීරණය ගැනීමට පෙර විවිධ වූ අංශයන් පිළිබඳව අවධානය යොමු කිරීමට සැලකිලිමත් වන්න.

 

bussnessව්‍යාපාර වර්ග

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී ආකාර දෙකකින් යුත් ව්‍යාපාර මිල දී ගැනීමේ අවස්ථාව ඔබට සැලසේ.

  1. පොකුරු ව්‍යාපාර (Franchise business)
  2. නිදහස් හා සාම්ප්‍රදායික ව්‍යාපාර (traditional (independent) business)

පොකුරු ව්‍යාපාර  (Franchise business)

මෙය පිළිගත් ආයතනයක් මගින් පාලනය වන ව්‍යාපාර ජාලයකින් එකක් වේ. මෙවැනි ව්‍යාපාරයකට සම්බන්ධ වීමේදී මුහුණපෑමට සිදුවන අවදානම අවම බව කිව යුතුය. සාර්ථකව ක්‍රියාත්මක වන ව්‍යාපාර ජාලයකින් මිල දී ගනු ලබන ව්‍යාපාර ආයතනයක බිඳ වැටීම කලාතුරකින් සිදුවන්නක් වන අතර කිසියම් ලෙසකින් ඔබට ඇතිවන අපහසුතාවක් මත ව්‍යාපාරය පවත්වා ගෙන යාමට නොහැකි වුවහොත් එය බොහෝ විට මිල දී ගත් මුදලට හෝ යම් ලාභයක් ඇතිව විකුණා ගැනීමට ලැඛෙනු ඇත.

එමෙන්ම මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අලූතින්ම ගොඩ නගන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා අඩු ප්‍රාග්ධනයකින් එය ඇරඹීමට හැකි වීමද වාසියකි. මෙහිදී ටිම් හෝර්ටන්, මැක්ඩොනල්ඩ් වැනි ව්‍යාපාර මිල දී ගැනීමට විශාල ප්‍රාග්ධනයක් යෙදවිය යුතු නොවේද යන පැනය ඔබ වෙත ඇතිවිය හැකියි. නමුත් එවැනි ව්‍යාපාරයක් සඳහා ඔබ ඩොලර් ලක්ෂ ගණනින් වැය කළද එවැනි කීර්තිමත් ආයතනයක් තුළින් ලැඛෙන ආදායමද විශාල බව මතක් කළ යුතුව ඇත. පොකුරු ව්‍යාපාර පිළිබඳව නිරතුරුව ඇස ගැටීම සහ අසා තිබීම නිසාත් විශ්වාසවන්ත භාවය නිසාත් බොහෝ විට මේවා කරා ඇදී එන පාරිභෝගික සංඛ්‍යාවද අධික වේ.

එමෙන්ම මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ව්‍යාපාර ස්ථානය පිහිටුවීමේ සිට පුහුණු කිරීම, නඩත්තුව දක්වා වූ  සියලූ වගකීම් මව් ආයතනය මගින් සිදුකරනු ලබයි. එහිදී ඇතැම් පොකුරු ව්‍යාපාර ආයතන විසින් ව්‍යාපාර ස්ථානය සඳහා අවශ්‍ය උපකරණ, නිල ඇඳුම්, ඒකාබද්ධ වෙළඳ ප්‍රචාරයන් ආදියද සිදුකරන අවස්ථා දක්නට ලැබේ.

මෙවැනි පොකුරු ව්‍යාපාරයක් මිල දී ගැනීමට සැරසෙන ඔබ වෙතද පැවරෙන අනිවාර්ය වගකීම් සහ නීති රීති මාලාවන් පවතී. එමෙන්ම ඔබගේම ව්‍යාපාරය වුවත් පොකුරු ව්‍යාපාරයකදී එහි සිදුකෙරෙන බොහෝ කටයුතු හිතුමතේ පාලනය කිරීමේ අයිතිය ඔබ සතුව නොපවතී. පොකුරු ව්‍යාපාරයක් මිල දී ගැනීමට මූලික මුදලක් යෙදවීමට මෙන්ම ව්‍යාපාරය තුළින් ලබන ලාභයෙන් යම් ප්‍රතිශතයක් මව් කොම්පැණිය වෙත ගෙවීමටද ගිවිසුම් අත්සන් කිරීමට ඔබට සිදුවේ.

නිදහස් හා සාම්ප්‍රදායික ව්‍යාපාර  (traditional (independent) business)

මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ඇති ප්‍රධානම වාසිය ඔබගේ කැමැත්ත පරිදී පාලනය කිරීමට හැකි වීම වේ. මෙහිදී ඔබ විසින්ම ඇති කරගනු ලබන නීති පද්ධතියකට අනුව එය සිදුකර ගැනීමේ අයිතිය ඔබ සතු වේ. එහෙත් කිසියම් විදියකින් මෙවැනි ව්‍යාපාරයක් බිඳ වැටුණහොත් එහි සියලූම අලාභයද ඔබ කරපිටම පැටවෙන්නක් වීම මෙහි ඇති විශාලතම අවදානම වෙයි.

නිදහස් ව්‍යාපාරයකදී ඔබ ලබන ලාභය කිසිවෙකු හා ඛෙදා ගැනීම අවශ්‍ය නොවේ. මෙහිදී තමා විසින්ම මහන්සි වී තම ව්‍යාපාරය ගොඩ නගා ගැනීමට කැප වීම ඔබ සතු කාර්යය වෙයි. එහිදී අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණුව ආදිය ඔබ විසින්ම සිදුකළ යුත්තකි.

ව්‍යාපාරයක මිල විනිශ්චය කිරීම

ඉහත අප සඳහන් කළ ආකාරයේ කුමන ව්‍යාපාරයක් වුවද ආරම්භ කිරීමට පෙර ඒ සඳහා වැය වන මිල ගණන් විනිශ්චය කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු කීපයක් ඇත. මෙහිදී එම ව්‍යාපාරය වත්මනෙහිද ක්‍රියාත්මක වන්නක් නම් එහි පැවැත්මේ තත්ත්වය පිළිබඳව මනා හැදෑරීමක් කිරීම සුදුසු වේ. එහෙත් ඇතැම් පොකුරු ව්‍යාපාර සඳහා නිශ්චිත මිල ගණන් නියම කර ඇති නිසා ඒවා පිළිබඳ කේවල් කිරීම් සිදුකළ නොහැකිය. එහෙත් පොදුවේ ව්‍යාපාරයක් මිල දී ගැනීමට පෙර පහත සඳහන් කරුණු පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීම සුදුසු වේ.

  • ව්‍යාපාරයේ පිහිටීම ඔබට ගැළපේද යන්න පිළිබඳව, එනම් එහි භෞතික සැකස්ම පිළිබඳව සොයා බැලීම වටී. උදාහරණයක් ලෙස කාර්යාලයක්ද, ගබඩාවක්ද, යන්ත්‍රෝපකරණ සහිත ස්ථානයක්ද, සිල්ලර වෙළඳ සැලක් හෝ වෙනත් ව්‍යාපාරික වටාපිටාවකින් යුත් ස්ථානයක්ද යනුවෙනි.
  • එම ස්ථානය සතුව ඇති ආම්පන්න (equipment) පිළිබඳ පැහැදිලි ලැයිස්තුගත කිරීමක් අවශ්‍ය වේ.
  • එම ව්‍යාපාරය ඔන්ලයින් ව්‍යාපාරයක් නම් වෙබ් අඩවියක් මගින් එය නිර්මාණය කර ඇති ආකාරය පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. එහිදී එම වෙබ් අඩවිය වෙත පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව හා පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව පිළිබඳ පැහැදිලි දත්තයන් තිබිය යුතුයි.
  • ව්‍යාපාරය සතු කීර්තිනාමයද මිල ගණන් තීරණය කිරීමට පෙර සලකා බැලිය යුතු ප්‍රධාන කරුණකි.
  • ව්‍යාපාර ස්ථානය හෝ ඔන්ලයින් ව්‍යාපාරය පාරිභෝගික ඇසට යොමුවන ආකාරයෙන් පිහිටා ඇත්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
  • එම ව්‍යාපාර ස්ථානය සිදුකරන නිෂ්පාදනයන් හෝ සේවාවන් තුළින් ආදායම් උපයා ඇති ආකාරය කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි. විකුණුම්හි ආදායම වැඩිවී ඇත්ද, අඩුවී ඇත්ද එසේත් නැතිනම් එකම අගයක පවතීද යන්න පිළිබඳව සොයා බැලිය යුතුයි.
  • එම ව්‍යාපාර ආයතනය බැංකු හා වෙනත් මූල්‍ය ආයතන සමග පවත්වාගෙන යන සබැඳියාව කෙබඳුද යන්න සොයා බැලිය යුතුයි.

 

ව්‍යාපාරයක් මිල දී ගැනීමට පෙර සලකා බැලිය යුතු තවත් කරුණු රැසක් පිළිබඳව ඉදිරි ලිපියෙන් සොයා බලමු.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි
බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post