ජනවාරි මස 06 වනදා සිට අප්‍රේල් 05 වනදා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වා පැය අටක කාලයකට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමට රජය තීරණය කර ඇත.

වසර 20 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් පථය ප්‍රතිසංස්කරණය කර නොමැති නිසා ගුවන් යානා ගොඩ බැස්සවිය නොහැකි තරමට එය අබලන්ව ඇති හෙයින් එහි අලූත්වැඩියා කටයුතු සිදුකිරීමට මෙවැනි පියවරක් ගැනීමට සිදුවූ බව රජය පෙන්වා දේ.

මීටර 3335 ක දිගින්ද මීටර 45 ක පළලින්ද යුත් කටුනායක ගුවන් පථයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 50 ක් වෙන් කිරීමට රජය මේ වන විට කටයුතු කර ඇත. එහි ප්‍රතිසංස්කරණ කටයුතු නෙදර්ලන්ත රජයේ විශේෂඥ උපදෙස් මත චීන සමාගමක් විසින් සිදුකරනු ලබයි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත දිනකට ගුවන් යානා 175-180 ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බවත් අඩුම ගුවන් යානා ප්‍රමාණයක් පැමිණෙන්නේ පෙරවරු 8.00 සිට පස්වරු 4 දක්වා කාලය තුළ බවත් එය ප්‍රමාණ වශයෙන් 45 ක් පමණ වන බවත් එම කාල සීමාවේදී ගුවන් තොටුපොළ වසා දැමීමෙන් ගුවන් ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවන බවත් සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබුණි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් පථයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2017 අවසන් වීමට පෙර සිදු නොකළහොත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් කටුනායක ගුවන් පථය ගුවන් යානා ගොඩ බැස්සවීමට සුදුසු ස්ථානයක් නොවන බව ප්‍රකාශ කරනු ඇතැයිද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

ගුවන් තොටුපොළෙහි ඇතිවන තදබදය අවම කර ගැනීම සඳහා ගුවන් ගතවීමට නියමිත මගීන් පිටත්ව යන වේලාවට පැය 05 කට පෙර ගුවන් තොටුපලට පැමිණෙන ලෙස ගුවන්තොටුපල බලධාරින් ඉල්ලීමක් කර ඇත.

Share this Post