ලබන වසරේ සිට අපොස උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයයන් රැසක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වා ඇති මෙම විෂයයන් ‘පොදු විෂය මාලාව’ හා ‘ව්‍යවහාරික විෂය මාලාව’ ලෙස ප්‍රධාන කොටස් දෙකකට ඛෙදා ඇත.
මෙම පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 9 ක් ආවරණය කෙරෙන අතර උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වර්ෂ දෙකට අයත් පළමු මාස 06 තුළදී මෙම විෂය ක්ෂේත්‍ර හැදෑරීම අනිවාර්ය වේ.

එම ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 9 මෙසේය.
1. පළමු බස (සිංහල හෝ දෙමළ) 2. ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය 3. සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා 4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා 5. පුරවැසිභාවයට අදාළ කුසලතා,6. සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා 7. ව්‍යවසායකත්ව කුසලතා 8. ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම් 9. වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

මෙම පොදු විෂය මාලාව මූලික මාස 6 තුළ හැදෑරීමෙන් පසු ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීම සඳහා ව්‍යවහාරික විෂය මාලාව ලෙස විෂයයන් 26 ක් ඇතුළත් කර ඇති අතර එයින් කැමති විෂයක් තෝරාගෙන හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිවේ. එම ව්‍යවහාරික විෂයයන් 26 අතරට ළමා මනෝ විද්‍යාව හා ආරක්ෂණය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ප්‍රාසාංගික කලාව, ශිල්ප කලා, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය, පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය, මෘදුකාංග සංවර්ධනය, වෙබ් නිර්මාණකරණය, පාරිසරික අධ්‍යයනය වැනි විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඇතුළත් වේ.

මෙම නව විෂය ධාරාව හඳුන්වාදීමෙන් සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞරෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මෙහි නියමු ව්‍යාපෘතිය මේ මස (ඔක්තෝබර්) සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර 2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදි එම විෂයයන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

උසස් පෙළ සිසුන් සඳහා එ් ආකාරයට විෂය ක්ෂේත්‍ර සැකසෙද්දී 1 සහ 2 වසර සිට පෙළ පොත් මගින් ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩපිළිවෙළක් කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇත. එ් අනුව 2018 වසරේ සිට පළමු සහ දෙවැනි ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි පෙළ පොත් 2 ක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

මේ වන විට 3 වන ශ්‍රේණියේ සිට ඉහළට ඉංග්‍රීසි භාෂාවට අදාළ පෙළ පොත් ලබාදෙන අතර කුඩාම දරුවන්ටත් ඉංග්‍රීසි අධ්‍යයාපනය විධිමත්ව ලබාදීම සඳහා 1 සහ 2 ශ්‍රේණි සඳහා මෙසේ පෙළපොත් ලබාදීමේ සිදුකෙරේ.

පෙළ පොත් සමග එහි අන්තර්ගතය වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කර සකස් කරන ලද සංයුක්ත තැටි (CD) ලබාදීම පිළිබඳවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති අතර පෙළ පොත් කිහිපයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිරියේදී මෙය හඳුන්වාදීමට සැලසුම් කෙරේ.

Share this Post