හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කොට ඇත. ‘මල් පොහොට්ටුව’ ලාංඡනය කොට ගෙන ඇති මෙම නව පක්ෂයේ මහ ලේකම් ධුරයට නීතිඥ සාගර කාරියවසම් පත්ව ඇත.
ඉදිරියේදී පැවැත්වෙන පළාත්පාලන මැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග වැදීමට අපේක්ෂා කෙරේ.
නව පක්ෂයේ නායකයා සහ නිලධාරි මඩුල්ල මෙතෙක් හෙළිදරව් කොට නැති අතර එම තොරතුරු දෙසැම්බරයේදී පැවැත්වෙන පක්ෂ මහා සම්මේලනයේදී ප්‍රකාශ කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අලූත් පක්ෂය සඳහා රට පුරා ශාඛා සමිති දොළොස් දහසකුත් සාමාජිකයන් දස ලක්ෂයකුත් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති අතර මෙතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලනය වඩා වෙනස් මගක මෙම නව පක්ෂය ගමන් කිරීමට සූදානම්ව ඇති බව පක්ෂ සාමාජිකයකු පවසා ඇත.
මේ අතර නව පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති බව පසුගියදා වාර්තා විය. පක්ෂ ව්‍යවස්ථාවට අනුව සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නේ නම් එම තැනැත්තාගේ සාමාජිකත්වය ඉබේම අහෝසි වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී.ල.නි.ප මහලේකම් දුමින්ද දිසානායක පවසා ඇත. ඒ අනුව ඉදිරියේදීද ශ්‍රී.ල.නි.ප යේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නේ නම් ඔවුන්ගේද පක්ෂ සාමාජිකත්වය නිතැතින්ම අහෝසි වන බව නිදහස් පක්ෂ මහලේකම් වරයා පෙන්වා දී ඇත.

Share this Post