ඇමරිකාවේ ඔහියෝහි සින්සිනාට් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සියල්ලන්ම දැඩිව ඇද බැඳ තබාගත් යෝධ සුරතලෙකි හරම්බේ. රාත්තල් 400 ක් බරැති අප්‍රිකානු බටහිර පහත් බිම්වලට ආවේණික ගෝරිලි වර්ගයේ සතෙකු වූ හරම්බේ උපත ලබා ඇත්තේද සත්වෝද්‍යානයකමය.

උපතේ සිටම සිර වූ ලොවක ජීවත් වූ මේ අසරණයා නිදහස් ලොව කෙසේ වේදැයි කිසි විටෙක දැන නොසිටින්නට ඇත. ඒ නිසාම අවුරුදු 17 ක් වූ ඒ සිර ජීවිතය තුළ කිසිදු විරෝධයක් හෝ මැසිවිල්ලක් ඔහුගෙන් නැගුණේද නැත. සැබවින්ම සුන්දර මනබඳින විලාසයන් පාමින් තමා නැරඹීමට පැමිණෙන මිනිසුන්ගේhara හිත සුව පිණිස ප්‍රදර්ශන භාණ්ඩයක් වී කල් ගත කිරීම හරම්බේගෙ දෛනික කාලසටහනේ ප්‍රධාන අංගය විය.

එහෙත් ඒ සියල්ල උඩුයටිකුරු වූයේ පසුගිය මැයි 28 වෙනිදාය. ඒ හරියටම හරම්බේගේ උපන් දිනයඑ යෙදී තිබුණු දිනට පසු දිනයි. (උපත 1999 මැයි 27) කිසිවෙකුත් නොසිතූ අභාග්‍යසම්පන්න ඉරණමක් මේ අහිංසක සත්වයාට උරුම වූයේ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණ සිටි ඔලමොට්ටලයන් කිහිපදෙනෙකුගේ නොසැලකිල්ල නිසාමය. එතෙක් කලක් දහස් සංඛ්‍යාත ජනතාවක් පිනවූ මේ සුන්දර සතාට එදින අකාලයේ රුදුරු වෙඩි පහරකට ලක් වී මිය යාමට සිදුවිය.

හරම්බේගේ මේ මරණයට මග පෑදූ හේතුව නිර්මාණය වන්නේ වයස අවුරුදු 3 ක පමණ දරුවකු මේ ගෝරිල්ලා සිටි කූඩුවට වැටීමත් සමගය. හරම්බේ සහ කුඩා දරුවා අතර ඒ මොහොතේ සිදු වූ සියල්ල කිසිවෙකු විසින් වීඩියෝ ගතකර තිබුණු අතර අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද වීඩියෝ පටය පහත දැක්වේ. එහිදී කුඩා දරුවාට හරම්බේගෙන් කිසිදු අනතුරක් වන බවක් නොපෙනුණත් සත්වෝද්‍යාන බලධාරීන් තීරණය කර ඇත්තේ දරුවා බේරා ගැනීමට ගෝරිල්ලා මරා දැමීමටයි. ඒ අනුව එම සතාට වෙඩි තබනු ලැබ ඇත.

හරම්බේට අත් වූ එම දරුණු සාහසික ඉරණම පිළිබඳව එම අවස්ථාවේ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණ සිටි පිරිස දැඩි විරෝධය පළ කොට තිබුණි. දරුවා කූඩුවට වැටී සිටි අවස්ථාවේදී හරම්බේ තුළින් පළ කෙරුණු හැසිරීම ගෝරිල්ලකුගේ සාමාන්‍ය හැසිරීම් රටාවක් මිස ප්‍රචණ්ඩ තත්ත්වයක් නොවන බව සත්ව විශේෂඥයෝ පවසා සිටිති. මේ අහිංසකයාගේ අකල් ඝාතනයෙහි සම්පූර්ණ වගකීම දරුවා කූඩුවට වැටෙන තුරු ඒ කෙරෙහි නොසැලකිලිමත් වූ ඔහුගේ භාරකරුවනුත් හරම්බේ මරණ ලෙස අණ කළ සත්වෝද්‍යාන භාරකරුවනුත් ගත යුතු බව මේ පිළිබඳව අදහස් දක්වන ලොව පුරා බහුතරයකගේ අදහසයි. මෙහිදී ‘හරම්බේට සාධාරණය උදෙසා’ ලෙසින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමටද මේ වන විට සත්ව ප්‍රේමීන් කටයුතු යොදා ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එයට සිය අත්සන ලබා දී තිබේ.

පසුගිය දිනවල සින්සිනාට් සත්වෝද්‍යානය අවටද බොහෝ දෙනෙකු විරෝධතා පුවරු ඔසවාගෙන හරම්බේට සාධාරණය ඉල්ලා සටන් පාඨ කියන අයුරු දක්නට ලැබුණි.මේ වන විට හරම්බේගේ මරණය සම්බන්ධයෙන් ඔහියෝ පොලිසිය පරීක්ෂණ කටයුතු අරඹා ඇති අතර දරුවා කූඩුවට වැටෙන තුරු බලා සිටි භාරකරුවන් හා ගෝරිල්ලා නිර්වින්දනය නොකොට මරා දැමීමට කටයුතු කළ සත්වෝද්‍යාන බලධාරීන්ට එරෙහිව එහිදී විශේෂයෙන්ම පියවර ගැනෙණු ඇතැයි පැවසේ. පරීක්ෂණ නිරික්ෂණ නිගමන කෙසේ වෙතත් මේ වන විට කාගේ හෝ වරදකට කිසිත් නොදන්නා අහිංසකයෙකු සිය ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්ය.

මේ යෝධ ගෝරිල්ලා උපන් දා සිට බලා හදා වඩාගත් තැනැත්තා ජෙරී ස්ටෝන්ස් වේ. හරම්බේගේ වියෝව ජෙරීට දරාගත නොහැකි දුකක් වී ඇති අතර ඔහු තම සුරතලා හඳුන්වා දුන්නේ ‘මහත්මා ගුණයෙන් යුතු යෝධයා’ ලෙසිනි. 72 හැවිරිදි වියේ පසුවන ජෙරී පවසන්නේ මේ යෝධ දරුවා තම ජීවිත කාලය තුළ හැඳිනගත් විශේෂිත චරිතයක් බවයි. හරම්බේ තම හදවත ලෙස ජීවත් වූ බවත් දරුවකු මෙන් රැක බලාගත් මේ ළබැඳියාගේ වියෝව තම පවුලේ අයෙකු නැතිවූවා හා සමාන දුකක් ගෙන එන්නක් බවත් ඔහු පවසයි. He grew up to be a pretty, beautiful male. He was very intelligent. Very, very intelligent,” මේ ඔහු කඳුළු පිරි නෙතින් පැවසූවකි.

ලොව වඳවී යන සත්වයන් අතර ගෝරිල්ලාද ඉහළින්ම සිටින්නෙකි. ලොව පුරා වාසය කරන ගෝරිල්ලන් සංඛ්‍යාව පිළිබඳ වාර්තාවල දැක්වෙන අන්දමට අද වන විට ඉතුරුව සිටින්නේ ගෝරිල්ලන් 175,000 ක් පමණි. සත්වෝද්‍යාන තුළ ගෝරිල්ලන් 765 දෙනෙක් ජීවත් වන බව එම වාර්තාවේ දැක්වේ.මේ ආකාරයට සත්වෝද්‍යානවල සිර කර සිටින සතුන් මිනිසුන් නිසා මරණයට පත් වූ අවස්ථා 42 ක් 1990 සිට ඇමරිකාවෙන් පමණක් වාර්තා වී ඇත. ඇමරිකාවේ සත්වෝද්‍යානයකදී මින් පෙරද ගෝරිල්ලකුට වෙඩි තබා මරා ඇති අතර එය සිදුව ඇත්තේ 2004 වසරේ ඩලාස් සත්වෝද්‍යානයේදීය. එවර මරා තිබුණේ රාත්තල් 300 ක් බරැති ජබාරි නමැති 13 හැවිරිදි ගෝරිල්ලෙකි. පසුගිය මැයි 21 වෙනි දින චිලී රටෙහි සත්වෝද්‍යානයකින්ද වාර්තා වූයේ ඉතාමත් අමානුෂික සිදුවීමකි. එහිදී සිංහයන් දෙදෙනෙකු වෙඩි තබා මරා දමා තිබුණු අතර එම සිංහ කූඩුවට පැන තිබුණේ සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණයෙකි. මේ මිනිසුන් නිසා සතුන්ගේ ජීවිත හානි සිදුවූ අවස්ථා කිහිපයක් පමණි. මෙවැනි සිදුවීම් රැසක් ලොව පුරා නිරතුරුවම සිදුවේ. ඇතැම් ඒවා වාර්තා වන අතර ඇතැම් ඒවා සැඟවී යයි. මේ කතාන්දරවල වඩාත්ම ශෝචනීය තත්ත්වය වන්නේ සිරකර තබා ඇති කරකියා ගත හැකි කිසිත් නැති සතුන් මෙලෙස මරා දැමීමයි.

නිදහසේ තම රාජ්‍යයන්හි ජීවත් වූ අහිංසක සතුන් සත්වෝද්‍යාන තුළට ගාල් කර කූඩු කර තබා මිනිසුන්ගේ අමන නොපනත් කම් නිසා මරණයට පත් කිරීම කෙතරම් නම් ඛේදවාචකයක්ද? ලොව දරුණුම සතා මිනිසා යැයි කියමන සනාථ කිරීමට මීටත් වඩා කරුණු කියනු කුමටද?

 

https://www.youtube.com/watch?v=Py_1aCt2c0s

 

සටහන – චමරි අබේසිංහ

Share this Post