සරණාගතයින් ලෙස කැනඩාවට පැමිණෙන පිරිස වැඩිවීමත් සමග ආගමන හා සරණාගත මණ්ඩලය Immigration and Refugee Board (IRB) වෙත සරණාගතභාවය ඉල්ලා ලැඛෙන ඉල්ලුම්පත් ප්‍රමාණයද අධික වී ඇත.
පසුගිය ජනවාරි මාසයේ සිට සෑම මාසයකම සරණාගතය භාවය සම්බන්ධයෙන් වූ නඩු 1400 ක් පමණ අලුතෙන් එක් වී ඇති බවත් අගෝස්තු මාසයේදී පමණක් සරණාගතභාවය ඉල්ලා නඩු 3000 ක් ගොනු කර ඇති බවත් වාර්තා වේ. අගෝස්තු 31 වෙනිදා වන විට සරණාගත මණ්ඩලයෙහි සිර වී ඇති සරණාගත අයදුම්පත් සංඛ්‍යාව 34,000 ඉක්මවා ඇත.
මේ ඇතැම් අයදුම්පත් පසුගිය රජය කාලයේ ඉදිරිපත් කළ එ්වා වන අතර එවකට පැවති කොන්සර්වේටිව් රජය සරණාගත ක්‍රියාවලියෙහි සිදුකළ යම් යම් සංශෝධන නිසා ඇති වූ තත්ත්වයන් හමුවේ බොහෝ දෙනෙකුට තම නඩු දිනය පැමිණෙනතුරු වසර ගණනාවක් බලා සිටීමට සිදුවී ඇත. එම තත්ත්වය වර්තමානයේදී යම් තරමක් වෙනස් වී ඇතත් එහි එතරම් කාර්යක්ෂමතාවක් තවමත් දක්නට නොලැබේ.

නමුත් මෙම තත්ත්වය වහාම වෙනස් විය යුතු බවත් ලැබී ඇති සරණාගත අයදුම්පත් දින 60 ක් ඇතුළත විභාග කොට බලා සරණාගත මණ්ඩලයෙහි ප්‍රමාදය වළක්වා ගත යුතු බව සරණාගතයින් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන හා නීතිඥ සංගම් ඇතුළු බොහෝ දෙනෙකු පෙන්වා දෙයි. දේශසීමා නිලධාරීන්ගේ හෝ ආරක්ෂක නිශ්කාෂණ නිකුත් කරන්නන්ගේ යම් මෙහෙයුම් සීමා ඇතොත් එ්වාද පරිවර්තකයන්ගේ, උපදේශකයන්ගේ හිඟයක් පවතින්නේ නම් එ්වාද හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගෙන සරණාගතයින්ගේ කටයුතු කඩිනම් කළ යුතු බව එම ආයතන පවසා සිටී.

ලිබරල් රජය විසින් එක්සත් ජනපදය හරහා කැනඩාවට පැමිණ සරණාගතභාවය ඉල්ලුම් කරන්නන් සඳහා ගෙන යන ලිහිල් ප්‍රතිපත්ති නිසා මේ වන විට විශාල සරණාගතයින් සංඛ්‍යාවක් ඇමරිකා-කැනඩා මායිම තරණය කරමින් කැනඩාවට ඇතුළු වේ. මේ තත්ත්වය මත ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම සරණාගත ඉල්ලුම් ප්‍රමාණය අධික වන අතර එම නඩු ඉල්ලුම්පත්ද සරණාගත කාර්යාලයේ ලිපි ගොනු ගොඩ තවත් ඉහළ දැමීමට බලපානු ඇත.

මෑතකදී නිකුත් කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව අගෝස්තු මාසයේදී පමණක් ඇමරිකාවේ සිට මෙරටට ඇතුළු වී ඇති සරණාගතයින් සංඛ්‍යාව 5712 කි. ජූලි මාසයේ සිට මෙසේ පැමිණෙන සංඛ්‍යාව සියයට 82 කින් පමණ වැඩි වී ඇති බව එම වාර්තා සනාථ කරයි. මේ පිළිබඳව අදහස් දැක්වූ කැනඩා දේශසීමා ආරක්ෂක බලකායේ ප්‍රධානියා පවසා ඇත්තේ එක්සත් ජනපදයෙන් පලා යන ලතින් ඇමරිකානු සරණාගතයින්ගේ දෙවන රැල්ලක් මෙහෙයවීමට කැනඩාව සූදානම් නොමැති බවයි. එහෙත් සරණාගතයින් ලෙස පැමිණෙන පිරිස වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමද කැනඩාවට අපහසු වී ඇත.

මෙම ගිම්හානයේදී එක්සත් ජනපදයේ සිට කැනඩාවට පැමිණි සරණාගතයින් අතරින් බහුතරය හයිටි පුරවැසියන්ය. මොවුන් ඇමරිකාවේ තාවකාලික ආරක්ෂිත තත්ත්වය යටතේ නොහොත් TPS -Temporary protected status (also called ‘TPS’) ක්‍රමය යටතේ රැඳී සිට එය කල් ඉකුත්වීමේදී කැනඩාවට පැමිණෙන බව හෙළිවී ඇත. ඇමරිකාවේ 58,000 කට අධික හයිටි වැසියන් සංඛ්‍යාවක් ජීවත් වන අතර ඔවුන් වෙත දී තිබූ TPS බලපත්‍රය පසුගිය මැයි මාසයේදී කල් ඉකුත් වීමත් සමග තවත් මාස 6 කට පමණක් එය දීර්ඝ කොට ඇත. එම මාස 6 ද ඉක්ම ගිය පසු නැවතත් හයිටිය බලා යන ලෙස එක්සත් ජනපදය ඔවුන් වෙත උපදෙස් දී ඇති නිසා නැවතත් සිය ගම්බිම් බලා යාම වෙනුවට මේ පිරිස කැනඩාවට පලා එ්මට පටන් ගෙන ඇති බව එ් පිළිබඳව සඳහන් තොරතුරුවල දැක්වේ.

මෙසේ කැනඩාවේ රැකවරණය පතා පැමිණෙන සරණාගයින් නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් රජය විසින් වැය කළ යුතු අතර සියලු යටිතල පහසුකම් ඔවුන් වෙනුවෙන් සැලසිය යුතු වේ.

සරණාගත මණ්ඩලය පවසන අන්දමට මෙසේ පැමිණි පුද්ගලයින්ගේ නඩු ඉල්ලීම් 300 ක් පමණ මේ වන විට විභාග කොට අවසන් කර ඇති අතර එයින් සියයට 50 කට පමණක් කැනඩාවේ සරණාගතභාවය හිමි වී ඇත.

Share this Post