එදා සිට අද වනතුරු බොක්සිං වළල්ල තුළට එක් වූ දහස් සංඛ්‍යාත බොක්සිං ක්‍රීඩකයන් අතරින් බිහි වූ විශිෂ්ටතමයා ලෙස සැලකෙන හෙවිවේට් බොක්සිං ශූරයා – මොහොමඩ් අලි පසුගියදා සිය දිවියෙන් සදහටම සමු ගත්තේය. මිය යන විට 74 හැවිරිදි වියේ සිටි මේ සුපිරි ක්‍රීඩකයා සැබවින්ම ක්‍රීඩා තරුවක් විය. මොහොමඩ් අලි පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙකු පවසන්නේ ‘මොහොමඩ් අලි ලෝක පූජිත වීමට බොක්සිං ක්‍රීඩාව ඉවහල් වූවා සේම බොක්සිං ක්‍රීඩාව ලොවට ගෙන යෑමට මොහොමඩ් අලි ඉවහල් වූවා’ යනුවෙනි. සැබවින්ම මේ ගුටි ඇණගන්නා ක්‍රීඩාව මහජනයාගේ සිත් ඇදගන්නා ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තිබූ එකම ක්‍රීඩකයා අලි විය. ඒ නිසාම ඔහු සෑම විටෙකම බොක්සිං ලොව තාරකාවක් මෙන් බැබලූණි.

විසිවෙනි සියවසේ ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වූ මොහොමඩ් අලි ප්‍රථම වරට ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව හිමිකරගන්නේ 1964 වර්ෂයේදීය. එහිදී අලි දැක්වූ සුපිරි ක්‍රීඩා ඉරියව් ඔහු අනාගතයේදී අංක එකේ බොක්සිං ක්‍රීඩකයා වීමේ ඉඟි බැව් එකeeල පුවත්පත්වල වාර්තා කොට තිබුණි. එතැකින් නොනැවතුණු මේ අතිදක්ෂයා 1974 සහ 1978 යන වර්ෂවලදීද ලෝක හෙවිවේට් කිරුළ හිමිකර ගනු ලැබුණි. බොක්සිං ඉතිහාසය තුළ ලෝක හෙවිවේට් ශූරතාව තුන්වරක් දිනාගනු ලැබූ එකම ක්‍රීඩකයා මොහොමඩ් අලි ය.

1960 රෝමයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සැහැල්ලූ බර ශ්‍රේණිය යටතේ වන බොක්සිං රන් පදක්කම හිමිකර ගැනීමත් සමගම එවකට 18 හැවිරිදි වියේ සිටි කැෂියස් ක්ලේ (එවක ඔහුගේ නම) නමැති මේ තරුණයා ගැන ලෝක අවධානය යොමුවීමට පටන් ගති. එතැන් සිට අඛණ්ඩව වසර දහයක් පමණ බොක්සිං ලෝකයේ ජයග්‍රාහකයෙකු වූ මොහොමඩ් අලි පැරදවූයේ ජෝ ෆ්‍රේසියර් ක්‍රිඩකයා විසිනි.

බොක්සිං වළලල්ල තුළ ඔහුට නතු නොවූ කිසිවෙකුත් නැත. ඇතැම් අවස්ථාවල ඔහු ඊට භාවිත කරන ක්‍රම නරඹන්නන් තුළ උද්වේගයක් ඇති කරලීමට සමත් වූ අතර ඇතැම් අවස්ථාවලදී විනෝදයක් සැපයීමටද සමත් විය. මොහොමඩ් අලි බොක්සිං ගුටි බැටවලින් මෙන්ම කටින්ද සිය ප්‍රතිවාදියා බය කර මෙල්ල කර ගැනීමට දක්ෂයකු වූ බව ප්‍රචලිත රහසකි.

වරෙක ඔහු බොක්සිං වළල්ල තුළදී ප්‍රතිවාදී ක්‍රීඩකයකුට මෙසේ පවසා තිබුණි. ‘මාව පරද්දන්න හීනෙකින්වත් හිතුවා නම් ඒ සිහිනයෙන් ඉක්මනින් අවදි වන්න. මං කොච්චර වේගවත්ද කියනවා නම් ඊයේ රෑ මගේ හෝටල් කාමරයේ ලයිට් එක නිවා මා ඇඳට පැන්නේ ඒ මොහොතේ කාමරය අඳුරු වීමටත් පෙරයි’ මෙවැනි කතා ඇසූ සැණින් කොයි මොහොතේ හෝ විදුලියක් සේ පහර පිට පහර වදීවී යන ත්‍රාසයත් මර භීතියත් ප්‍රතිවාදියා තුළ ඇතිවීම පුදුමයක්ද? ඒ කතා අසා ප්‍රතිවාදියා බියෙන් වෙව්ලා ගියත් ඔහුගේ මෙවැනි කතා නරඹන්නන් වෙත ගෙන ආවේ නොමඳ රසයකි. ඔවුන් සිය දෙකන් තවත් තියුණු කර ගනිමින් වළල්ල තුළින් නැගෙන ප්‍රහාරාත්මක ගුටිබැටවලටත් වදන්වලටත් සිය අත්පොළොසන් නාදය එක් කරන්නේ ප්‍රීති ඝෝෂා නගමිනි.

අලි විසින් බොක්සිං වළල්ල තුළ එකල දක්වන ලද හපන්කම් ඉන්පසු බිහි වූ කිසිදු ක්‍රීඩකයකු හා සමකල නොහැකි තරම් උසස් තත්ත්වයේ වූ බව පවසන විචාරකයින් ඔහු සමනළයකු සේ පාවෙමින් මී මැස්සකු ලෙස පහර දෙන ක්‍රීඩකයකු බව පවසා සිටී.

කැෂියස් මර්සෙල්ස් ක්ලේ නමින් 1942 ජනවාරි 17 වෙනිදා ඇමරිකාවේදී උපත ලද ඔහු පසු කලෙක ඇමරිකාවේ පැවති ‘නේෂන් ඔෆ් ඉස්ලාම්’ සංවිධානයට බැඳී මොහොමඩ් අලි යනුවෙන් සිය නම වෙනස් කොට ගැනුණි. කැෂියස් ක්ලේ යන නම ඔහු අර්ථ දක්වා තිබුණේ . ‘my slave name’ ලෙසයි. “Cassius Clay is a slave name. I didn’t choose it and I don’t want it. I am Muhammad Ali, a free name – it means beloved of God, and I insist people use it when people speak to me.”  ‘කැෂියස් ක්ලේ වහල් නමක්. ඒ නම මගේ වුවමනාවට තෝරා ගත් එකක් නොවෙයි. මගේ නම මොහොමඩ් අලි. නිදහස් නමක්. ඒකෙ තේරුම දෙවියන්ගේ ප්‍රේමණීයයෙක් යන්නයි. මට ඒ නමින් අමතන්න. එය මා ජනතාවට අවධාරණය කර කියනවා’

ක්‍රීඩාව තුළ මෙන්ම උග්‍ර මානව හිතවාදියකු ලෙසත් මොහොමඩ් අලිගේ නම ලෝක ඉතිහාස පොතෙහි සටහන් වන්නේ ඔහු සෑම විටෙකම තැලෙන පොඩිවෙන මිනිසා පිළිබඳව නැඟූ හඬ නිසාය. ලෝකයේ යුද විරෝධීන් අතර පෙරමුණෙහි සිටි මොහොමඩ් අලි ඔහුගේ එම විරෝධය ක්‍රියාවෙන්ද පෙන්වූ ශ්‍රේෂ්ඨයෙකි.hhh

1960 දශකයේදී ඇමරිකාව විසින් වියට්නාමයට එරෙහි යුද්ධය සඳහා තරුණයන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ අලි ටද කැඳවීමක් ලැබී තිබුණත් ඔහු එකහෙලාම එම කැඳවීම ප්‍රතික්ෂේප කොට තිබුණි. හමුදා අණ නොතැකීම නිසා අත්අඩංගුවට ගැනුණු අලි වෙත ඩොලර් දසදහසක දඩයක්ද පස් අවුරුදු සිර ද~ුවමක්ද පැනවුණි. ඊට අමතරව ඔහුගේ බොක්සිං බලපත්‍රයද අවලංගු කෙරුණු අතර එතෙක් ඔහු ලබාගෙන තිබූ සියලූම ජයග්‍රහණ ඔහු වෙතින් ඉවත් කිරීමටද කටයුතු කෙරුණි. එහෙත් මේ කිසිවකින් නොසැළුණු අලි දිගින් දිගටම පැවසූවේ, “I got nothing against no Viet Cong. No Vietnamese ever called me a nigger.” ‘වියට්නාමය සමග මගේ කිසිම ආරවුලක් නෑ. ඔවුන් කවදාවත් මට ‘කල්ලා’ කියා ආමන්ත්‍රණය කර නෑ’ යනුවෙනි. ඉන් නොනැවතුණු ඔහු ඇමරිකාව තුළදී කළු හමට සිදුවන අඩම්තේට්ටම් පිළිබඳව මෙසේද පවසා තිබුණි. ‘හමුදා යුනිෆෝමයක් ඇඳන් සැතපුම් 10,000 ක් දුර වියට්නාමයට ගිහින් දුඹුරු මිනිස්සුන්ට බෝම්බ දාන්න වෙඩි තියන්න යැයි මොවුන් මට පවසන්නේ ඇයි? මේ අය සරලම මානව හිමිකම් වත් ඉටු නොකර Louisville වගේ පැතිවල කළු මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගේ’

මොහොමඩ් අලි කළු ජාතිකයින්ගේ ස්වෛරීත්වය උදෙසා පළ කළ මෙවැනි අදහස් සුදු වුන්ගේ ලෝකය දෙදරවීමටත් ඔවුන්ගේ ඇස් ඇරවීමටත් සමත් විය. ඔහුගේ අදහස් දැක්වීම්වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු වැටුණු අතර ඒ සෑම විටෙකම බොක්සිං වy777ළල්ල ඔහුට තහනම් කලාපයක් විය. එහෙත් පසුකලෙක ඒ සියල්ල ජය ගැනීමට ඔහුට හැකි වූ අතර ඔහුගේ අදහස්වල ඇති අදීන බව පිළිගැනීමටත් බොහෝ දෙනෙකු ඉදිරිපත් විය.

ක්‍රීඩාව තුළදී සෑම විටෙකම ජයග්‍රහණම අත් කර ගැනීමට සමත් වූ මේ
අසහාය ක්‍රීඩකයා සිය පෞද්ගලික ජීවිතය තුළදී මුහුණ පෑ කුරිරුම ඉරණම වූයේ මින් දශක තුනකට පමණ පෙර පාකින්සන් රෝගයට ගොදුරු වීමයි. අලි බොක්සිං ක්‍රීඩාවෙන් සමුගත්තේ පාකින්සන් රෝගය නිසා නොවූවත් ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා කාලය වන විට රෝග ලක්ෂණ පහළ වෙමින් තිබූ බව ඔහුගේ පවුලේ පිරිසගේ අදහසයි. ඔහුගේ ජීවිතයේ සැඳෑ සමය සෞඛ්‍යමය වශයෙන් පිරිහී යාමෙනුත් සිහි කල්පනාව මඳව ඔත්පල වීමෙනුත් ගත වුවද එදා බොක්සිං වළල්ලේ සිටි ඒ තේජස් වී බව නම් ඔහු වෙතින් කිසි විටෙකත් අඩු නොවුණි. එහෙත් ලොවක් පැරදවූවත් මරුවා පැරදවිය හැකි සමතෙකු මෙතෙක් බිහි වී නොමැත.fff

වරින් වර ලොව පහළ වන මෙවැනි අසාමාන්‍ය මිනිසුන් තම කාර්යය නිමා කොට එක් එක් යුග පිළිබඳ සුන්දර කතා ලොවට ඉතුරු කර මෙලෙස නික්ම යනු අප කොතෙකුත් දැක ඇත. මොහොමඩ් අලි ද එවැනි මිනිසෙකි. ඔහු ලෝක ඉතිහාසයේ එක් පරිච්ඡේදයකට අයත් සුවිශේෂී මිනිසෙකු ලෙස මේ වන විට ඉතිහාසයට එක් වී හමාරය.

 

 

සටහන – චමරි අබේසිංහ

 

 

Share this Post