අඳුරු මහාද්වීපය නිජබිම කරගත් කළු අප්‍රිකානුවන් සුදු හම සහිත ඇමරිකානුවන්ගේ වහලූන් බවට පත් කරගත් යුගය නිමා වී දශක ගණනාවක් ඉක්ම ගොස් ඇතත් ඔවුනොවුන් අතර පවතින නොරුස්නා ගති නම් මඳකුදු අඩු වී ඇති බවක් නොපෙනේ. අළු යට ගිනි මෙන් පවතිමින් වරින් වර මතුවන මේ අර්බුද සෑම විටෙකම නිමාවට පත්වන්නේ ජීවිත කීපයක් බිලි ගනිමිනි.

ඇමරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ සිටි ධනවත් ස්පාඤ්ඤ ජාතිකයන් විසින් වහල් සේවය සඳහා මුලින්ම නීග්‍රෝ අපි්‍රකානුවන් රැගෙන විත් ඇත්තේ 1526 දීය. එතැන් පටන්, කළු හම සහිත මේ මිනිසුන් තමන්ට මෙහෙවර කිරීම සඳහාම උපන්නවුන් යන අදහස ඇතිව කටයුතු කළ ඇමරිකානුවන් නිසා ඇමරිකාවට ආ අප්‍රිකානුවන් විඳි ගැහැට අඩන්තේට්ටම් අපමණය.

මේ වන විට ඇමරිකාවේ වෙසෙන කළු ජාතිකයන් අතරින් බහුතරයක් මෙලෙස වහලූන් ලෙස ඇමරිකාවට පැමිණි පරම්පරාවලින් පැවත් එන්නන්ය. කළු ජාතිකයින්ගේ  නිදහස උදෙසා වරින් වර කළු ජාතිකයින් මෙන්ම සුදු ජාතිකයින්ද එක්ව සිදුකළ උද්ඝෝෂණවල ප්‍රතිඵල ලෙස අද ඔවුන්ට ඇමරිකාව තුළ සම අයිතීන් හිමිව තිබුණත් ප්‍රායෝගිකව එය කෙතරම් දුරට ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව ගැටලූ පවතී. දේශපාලනමය වශයෙන් ඓතිහාසික පෙරළියක් ඇති කරමින් ඇමරිකාවට කළු ජාතික ජනාධිපතිවරයකු පත්වී වසර ගණනාවක් ගත වී ඇතත් සුද්දන් සහ කල්ලන් අතර සිදුවන ඝට්ටනවලට සහනදායී විසඳුම් මේ වන තෙක් ලැබී ඇති බවක් නම් නොපෙනේ.

මේ බොහෝ ගැටුම්වලට මූලික වී ඇත්තේ වර්ගවාදයටත් වඩා ඉහවහා යන තරමට ඔවුනොවුන් අතර පවතින සැකයයි. වර්තමානයේදී එරට තුළ සුදු ඇමරිකානුවන් හා කළු ඇමරිකානුවන් හරි හරියට මුහු වී කටයුතු කරතත් පොඩ්ඩ එහා මෙහා වන විට සුද්දන් කල්ලන් දෙස සැකෙන් බැලීමත් කල්ලන් සුද්දන් දෙස සැකෙන් බැලීමත් නොවැළැක්විය හැක්කක් බවට පත්ව තිබේ.

මේ තත්ත්වය ඇමරිකානු පොලිසිය තුළ දැඩිව දක්නට ලැඛෙන අතර ඔවුන්ට කළු ජාතිකයන්ව සෑම විටෙකම අපරාධකරුවන් ලෙස පෙනීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව මේ ගැටලූව දෙස මධ්‍යස්ථව බලන්නන්ගේ අදහසයි.

පසුගිය වසර කිහිපය පුරාම ඇමරිකානු පොලිසියේ මේ අත්තනෝමතික සැකය නිසා කළු ජාතිකයින් රැසකට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. මේ සෑම අවස්ථාවකදීම අ~න්නට ඇහැට ඇඟිල්ලෙන් අනිනකම් බලා සිටියාක් මෙන් කළු ජාතිකයන්ද කුපිත වී නැඟී සිටිමින් පොලිසිය හා ගැටුම් ඇති කර ගත්හ. එලෙස වීථී බැස කළහකාරී ලෙස හැසිරෙන්නන් මෙල්ල කිරීමේදී තව තවත් අපරාධ සිදුවීමද නොවැළැක්විය හැක්කක් බවට මේ වන විට පත්ව තිබේ.

මීට දින කිහිපයකට පෙර ඇමරිකානු පොලිසියේ වෙඩි පහරට ගොදුරුව අවාසනාවන්ත අයුරින් මිය ගිය ලූසියානා ප්‍රාන්තයේ ඇල්ටන් ස්ටර්ලින් සහ මිනිසොටාහි පිලන්දෝ කැස්ටයිල් යන කළු ඇමරිකානුවන් දෙදෙනාගේ මරණ නිරායුධ තරුණයින් නිරපරාදේ ඝාතනය කිරීමක් ලෙස බොහෝ දෙනෙකු පෙන්වා දේ. මේ ඝාතන පිළිබඳව පොලිසියට දැඩි ලෙස චෝදනා එල්ල වී ඇති අතර ලූසියානාහි  බැටන් රෝග් ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී ඇල්ටන් ස්ටර්ලින්ට වෙඩි තබා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද පසුගියදා අන්තර්ජාලයට එක්වී තිබුණි. ලූසියානා ඝාතනය සිදුවී පැය 48 ක් ගතවීමටත් පෙර මිනසෝටාහිදී තවත් කළු ජාතිකයකු ඝාතනය වූ අතර පිලන්දෝ කැස්ටයිල් නමැති මේ පුද්ගලයා සිය පෙම්වතිය සමග මෝටර් රථයේ යමින් සිටියදී එම රථයේ බිඳී ගිය ලාම්පුවක් දැකීමෙන් පොලිසිය ඔහුව නවතා තිබුණි. මෙහිදී පොලිස් නිලධාරියකු විසින් ගිනි අවියක් එල්ල කරගෙන සිටියදී පිලන්දෝ දරුණු තුවාල සහිතව බිම වැටී සිටින ආකාරය ඔහුගේ පෙම්වතිය විසින් වීඩියෝගත කර තිබුණි.

මේ සිදුවීම් දෙක නිසා අළු යට තිබූ ගිනි පුපුරු, ගිනිජාලාවක් වෙමින් ඇමරිකාවේ කළු ජාතිකයින් බහුල ප්‍රදේශවල දරුණු ලෙස ඇවිළීමට පටන් ගැනුණි. කළු ජාතිකයින් මෙන්ම ඇතැම් සුදු ජාතිකයින්ද පොලිසියේ මේ ක්‍රියාකලාපයට දැඩි අප්‍රසාදය පළ කර තිබුණු අතර විශාල පිරිස් එක්රැස්ව උද්ඝෝෂණයන්හි නිරත වෙමින් හ~ නගමින් ඉල්ලා සිටින්නේ කළු ජාතිකයන් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු කරන ලෙසයි.

මෙම සිද්ධි ජාලයේ බරපතලම තත්ත්වය පසුගිය 7 වෙනිදා සවස් කාලයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස්හිදී හටගත් අතර එහිදී සිදුකරන ලද විරෝධතාවක් අතරතුරදී පොලිස් නිලධාරීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබුණි. මෙම විරෝධතාව ඩලාස් වීථීවල ගමන් ගන්නා අතරතුර සැඟවී වෙඩි තැබූ ස්නයිපර් තුවක්කු කරුවන්ගේ ඉලක්ක බවට පත් වූ පොලිස් නිලධාරීන් පස්දෙනෙකු මරුමුවට පත්වූ අතර තවත් කිහිපදෙනෙකු දරුණු තුවාල ලැබූහ.

සැඟවී සිටිමින් මෙම වෙඩිතැබීම සිදුකළ කළු ජාතිකයකු මෙල්ල කර ගැනීම සඳහා ඩලාස් පොලිසියට පැය ගාණක් වෙහෙසීමට සිදුවුවත් ඔහුව ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ඔවුන් සමත් නොවූහ. ගොඩනැගිල්ලක් මත සිටි ඔහු සමග පොලිසිය පැය ගණනක් අදහස් හුවමාරු කර ගත්තද ඔහු යටත් නොවූ අතර ඔහු පවසා තිබුණේ සුදු ජාතිකයන් විශේෂයෙන්ම සුදු පොලිස් නිලධාරීන් මරා දැමීම තම එකම අභිප්‍රාය බවයි. කෙසේ වුවත් අවසානයේදී පොලිසිය සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් මේ පුද්ගලයා මරු වැළඳගෙන තිබුණි. පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සැරසීමේදී ඩලාස් නගරය පුරා බෝම්බ අතුරා ඇති බවට එක් පුද්ගලයෙකු පවසා තිබුණි. කෙසේ වෙතත් අවසානයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.

මේ ප්‍රහාරයේ සියලූම තොරතුරු සජීවී ආකාරයෙන් මෙන්ම පටිගත කළ ආකාරයෙන්ද අන්තර්ජාලය පුරා දක්නට ඇති අතර එAවා බැලීමේදී මෙය සැබෑවක්ද එසේත් නැතිනම් හොලිවුඩ් චිත්‍රපට ජවනිකාවක්ද යන්න සිතා ගැනීමට අපහසු තරම්ය. ඉතාමත් කාර්යබහුල නගරයක් වන ඩලාස්හි අධික සෙනඟක් ගැවසෙන අවස්ථාවක සිදුවූ මේ සිදුවීමේදී ඊට මැදි වූ සුදු, කළු, දුඹුරු නෙක වර්ණ අහිංසක ජනතාව කෙතරම් නම් මර බියකට පත්ව සිටින්නේදැයි ඒ වීඩියෝ පට බැලීමේදී පෙනී යයි. නිදහස් නිවහල් ෙසෙවරී රටක ජනතාවක් එසේ බියෙන් තැති ගත යුතුද? මෙහි වරද කාගෙද?

දිනෙන් දිනම වැඩිවන මේ විනාශකාරී ක්‍රියාවන් ගැන එක් පසෙකට පමණක් ඇඟිල්ල දිගු කිරීම කළ නොහැක්කේ ඇතැම් අවස්ථාවල සීමාව ඉක්මවා ගිය හැසිරීම් කළු ජාතිකයන් තුළින්ද දක්නට ලැඛෙන හෙයිනි. එහෙත් ඔවුන්ගේ එම දඩබ්බර හැසිරීම් හේතුවක් කොටගෙන මේ ආකාරයට මිනිසුන් ඝාතනය කිරීමට පොලිසියට හෝ කිසිදු ජගතෙකුට ලෝක සම්මතය තුළ අවසරයක් නොමැත. වරදක් සිදුවන්නේ නම් නීතිමය වශයෙන් කටයුතු කොට ද~ුවම් පැමිණවීමට අවශ්‍ය නෛතික පහසුකම් ඇමරිකාව තුළ හිඟ නැත. එහෙත් නීතිය අවනීතිය කොට හැසිරෙන ඇතැම් නිලධාරීන් නිසා පවතින ප්‍රශ්න පැටව් ගසමින් වර්ධනය වන ආකාරය අද ලෝකයේ කොතනත් දක්නට ලැඛෙන යථාර්ථයක් වී ඇත.

දරිද්‍රතාව, නූගත් කම හා වෙනත් සමාජ ප්‍රශ්න රැසකින් පීඩා විඳින ඇමරිකාවේ කළු ජාතිකයන් පිළිබඳ මීට වඩා සානුකම්පිතව බැලීමට එරට ජන නායකයින් ඇතුළු සියලූම දෙනා වහ වහා පියවර ගැනීමට දැන්වත් කටයුතු යෙදිය යුතුව ඇත. ඇමරිකාව පමණක් නොව, කැනඩාව ඇතුළු බටහිර බොහෝ රටවල්ද මේ මිනිසුන් පෙළෙන ගැටලූ ගැන මීට වඩා අවධානය යොමු නොකළහොත් ලොව පුරා මේ වන විට ඇති වියවුල්වලට තවත් අංගයක් එක්වනු නොඅනුමානය.

තවදුරටත් කළු ජාතිකයින් ඇමරිකාවේ හෝ ලොව වෙනත් කිසිදු රටක වහලුන් නොවේ. සම කළු වුවත් ඔවුන්ද ලොව සෙසු මිනිසුන් මෙන්ම හැඟීම් දැනීම් සහිත මනුෂ්‍ය කොට්ඨාසයකි.

Share this Post