අභිරහස විසෙඳයිද?

මීට හරියටම වසර එකහමාරකට පමණ පෙර එනම් 2014 අගෝස්තුවේදී  – ‘Bermuda Triangle Mystery Solved – බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසෙඳයි’ යනුවෙන් පුවතක් අන්තර්ජාලය පුරා ප්‍රචාරය වුණි. එහෙත් පුවතට අදාළ වූ තොරතුරු කියවාගෙන යාමේදී දැනගගැනීමට ලැබුණේ අභිරහස සම්පූර්ණයෙන්ම හෙළි වී ඇති බවක් නොව, එම කලාපයේ අතුරුදහන්වීම් සිදුවන ආකාරය පිළිබඳ උපකල්පනය කළ හැකි තොරතුරක් අනුමාන කර ඇති බව පමණි.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝෂප් මොනගන් සහ එම විශ්වවිද්‍යාලයේම කීර්තිමත් ශිෂ්‍යයකු වූ ඩේවිඩ් මේයි විසිනි. එම පර්යේෂණයට අනුව බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේ පවතින අද්භූතජනක විශාල ආවාට කීපයක් පිළිබඳවත් එම ආවාට ඇතුළත් කලාපයේදී යාත්‍රාවන් ගිලී යාමේ හේතුව පිළිබඳවත් විශ්වාස කළ හැකි අන්දමේ කරුණු කීපයක් අනාවරණය කිරීමට මොවුහු සමත් වී තිබුණි. එහෙත් එම ආවාට නිර්මාණය වූ ආකාරය පිළිබඳව නිවැරදි තොරතුරක් පර්යේෂකයන් ඉදිරිපත් කර නොතිබුණි. එහිදී ඔවුන් පැහැදිලි කර තිබුණේ බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවූ අද්භූත අතුරුදහන් වීම්වලට එම කලාපයේ ඇති යෝධ ආවාට තුළින් නිකුත් වෙන මීතේන් වායුව හේතු වී ඇති බවයි.

වගුරු බිම්, පතල්, කුහර, ආවාට වැනි ප්‍රදේශවලින් නිකුත් වන මාරාන්තික විෂ වායුවක් වන මීතේන් වායුව (CH4) වර්ණයකින් හෝ ගන්ධයකින් තොර වායුවකි. වගුරු බිම්වලින් නිකුත් වන නිසා මෙම වායුව ‘වගුරු වායුව’ ලෙසද හඳුන්වනු ලබන අතර දහන පෝෂකයක් ලෙසද ක්‍රියාත්මක වේ.

බර්මියුඩා ත්‍රිකෝණයට අයත් මුහුදු කලාපයේ ආවාට තුළ පවතින මීතේන් වායුව පොළොවේ වෙනත් තැන්වල පවතින මීතේන් වායුව ලෙස වායුමය තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවන බව ජෝෂප් සහ ඩේවිඩ් යන පර්යේෂකයන් දෙදෙනා පවසා සිටී. ගැඹුරු සාගර පතුලේ පවතින අධික පීඩන තත්ත්වය නිසා මෙම වායුමය මීතේන් කැටි ගැසී ඝන වී මුහුදු පතුළේ කඳු ආකාරයෙන් තැන්පත් වී පවතින බව ඔවුහු පවසති. මේවා වායු හයිඩ්‍රේට (gas hydrates) ලෙසින් හඳුන්වන අතර මෙම ඝන වූ මීතේන් වායු කඳු පුපුරා යාමෙන් දැවැන්ත වායුමය බුබුළු හට ගෙන ඒ අසළින් ගමන් ගන්නා මුහුදු නෞකා ඇතුළු වස්තූන් ගිල ගැනීම සිදුකරන බව පර්යේෂකයන් පෙන්වා දී තිබුණි.

එහෙත් මෙම ක්‍රියාවලිය සිදුවී එනම් වායු බුබුළු ක්‍රියාත්මක වී මීතේන් නිදි තුළට මෙම වස්තූන් ඇදී ගොස් අතුරුදහන් වන ආකාරය සියැසින් දුටුවෙකු මෙලොව නොමැති බවට සැකයක් නොමැත. මන්ද යත් මෙම නෞකා තුළ ගමන් ගත්තවුන් සියල්ලන්ටම සිය මරණය දැක දැකත් නිහඬවම ඒ අභාග්‍යසම්පන්න ඉරණම වැළඳගැනීමට සිදුවී තිබූ හෙයිනි. මෙලොව වසන කිසිවෙකුටත් ඒ පිළිබඳව කිසිවක් පැවසීමට ඇසිල්ලක්වත් නොතබාම ඔවුහු අතුරුදන් වී ගොස් ඇත.

tttyඒ නිසාම මේ පිළිබඳව හැදෑරීමේදී එහි සිදුවන දේ පිළිබඳ විමසීමට කිසිවෙකුත් නොමැති නිසාත් බර්මියුඩා කලාපයට යාම මරණය සියතින් වැළඳගැනීමක් වන නිසාත් මේ සියලූ පර්යේෂණ කටයුතු ආකෘතිමය ව්‍යුහ රාමුවක් තුළ සිදුකිරීමට මෙම පර්යේෂකයින්ට සිදුවී තිබුණි. එහිදී ඔවුන් පරිගණක හා නවීන තාක්ෂණ අංගයන් යොදා ගනිමින් සිය ආකෘතිය සැකසීම සිදුකර තිබූ අතර මෙහිදී තරලමය ගතික විද්‍යාත්මක ක්‍රම යොදා ගැනීමට මොවුහු සැලකිලිමත් වී ඇත. යෝධ මීතේන් බුබුළුවල ප්‍රවේගයන් අනුව සිදුවන විචලනයන් පිළිබඳවත්, එහි පීඩනය, ජලයෙහි පවතින වායු ඝනත්වය ආදි බර්මියුඩා ත්‍රිකෝණයේ ඇතැයි සැක කෙරෙන සියලූ සාධකයන් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කොට තිබුණි. ඒ අනුව පර්යේෂකයින් දෙදෙනාගේ උපකල්පකයන්ට අනුව සැකසුණු යෝධ ජල තඩාග තුළ මෙම කෘතිම බර්මියුඩා ත්‍රිකෝණ ආකෘතිය නිමවූ අතර එය යොදාගනිමින් සිදුකළ පර්යේෂණ අතරතුරදී මෙම අපූරු කරුණු රැස හෙළිදරව් කර ගැනීමට ඔවුන් සමත් වී තිබුණි.

මෙහිදී නෞකා අතුරුදන් වී ගිළී යාම හෝ නොයාම තීරණය වන්නේ මුහුදු පතුලෙන් පැමිණෙන වායුවට සාපේක්ෂව නෞකාව පිහිටි ස්ථානයට අනුව බව පෙන්වා දී තිබුණි. මෙහි උච්චතම අවස්ථාව ලෙස, මෙම යෝධ වායු බුබුළක මැද සහ පිටත ධාර අතර එනම් වායු බුබුළේ ඉහළම ලක්ෂය හා වායු බුබුල නිසා ඉහළ නැඟි ජල තරංගයේ නැඟීම සිදුවන ස්ථානයේදී මෙම ගිළී යාම් සිදුවන බව ඔවුන් ඔප්පු කර පෙන්වා දී ඇත. මෙවැනි චණ්ඩ දිය රළකට හසුවන නෞකාවක් මුහුදු පතුලට ඇදී යාම වැළකිය නොහැකි බවත් එසේ මීතේන් වායු බුබුළ ඔස්සේ ගිලී යන නෞකා මීතේන්වලින් පිරි ආවාට තුළට ඇදී යන බවත් ඔවුහු පවසති. මෙවැනි මීතේන් කඳුවලින් ගහණ කුහර ප්‍රදේශවල සිදුවන මෙම අද්භූතජනක ක්‍රියාව නිසා ‘මායාකාරියන්ගේ කුහර – Witch’s Hole’ ලෙසද මෙම මීතේන් කුහර හඳුන්වනු ලබයි.

ඉහත පර්යේෂකයින් දෙදෙනා විසින් සිදුකළ පර්යේෂණයේ ප්‍රතිඵලවලට සමාන වූ අදහසක් ඇමරිකානු භූ විද්‍යා හා පතල් පර්යේෂණ ආයතනයද මින් පෙර ඉදිරිපත් කර ඇති අතර බර්මියුඩා කලාපයේ ස්වභාවිකව සිදුවන අධික මීතේන් විදාරණය නිසා ජලයේ ඝනත්වය වෙනස් වී නෞකා ජලයේ පාවී යාමට ඇති සැහැල්ලුව නැති වී යාමෙන් ගිලී යන බව ඔවුහු පෙන්වා දී ඇත. එහිදී එම නෞකාවල සුන්බුන් හෝ හමුනොවන්නේyy6 සමස්ත නෞකාවම මුහුදු පතුලට ඇද ගන්නා නිසා බව ඇමරිකානු විද්‍යාඥයින්ගේ අදහසයි.

කෙසේ වුවත් මෙම පර්යේෂණ මගින් බර්මියුඩා ත්‍රිකෝණයේදී මුහුදු නෞකා අතුරුදහන් වීම පිළිබඳ මේ අන්දමින් හෝ විශ්වාස කළ හැකි කරුණු හෙළිදරව් වූවත් බර්මියුඩා ත්‍රිකෝණය අසළින් ගමන් ගත් අතුරුදහන් වූ ගුවන් යානාවලට එලෙස වීමට බල පෑ හේතුව පිළිබඳ සාධාරණ තොරතුරුක් කිසිවෙකුත් පෙන්වා දී නැත. ඒ පිළිබඳව ඔවුන් පවසා ඇත්තේ මෙම ප්‍රදේශයේ පවතින අධික මීතේන් වායු සාන්ද්‍රණය නිසා උඩු ගුවනේ පියාසර කරන ගුවන් යානාවල ඇන්ජින් නතර වී ඒවාද පහතට ඇදී ඒමෙන් මුහුදේ ගිලී යන බවයි. එහෙත් එය පිළිගත හැකි අන්දමේ කතාවක් නොවන්නේ ගුවන් යානා එලෙස කඩා වැටුණත් ඒවා ක්ෂණයකින් රේඩාර් පද්ධතියෙන් ඉවත් වීම සිදුවිය නොහැක්කක් බැවිනි. එසේම මේ කලාපය දිස්වන ලෙස ගත් කිසිදු චන්ද්‍රිකා ඡායාරූපයක මෙවැනි ගුවන් යානා කඩා වැටීමකින් පසු මුහුදේ දිස්වන තෙල් සටහන් හෝ කැඩී බිඳී ගිය ගුවන් යානා කැබලි දක්නට නොතිබුණි. ඒ නිසා මෙතෙක් සිදුකළ කිසිදු පර්යේෂණයක් මගින් මෙම බර්මියුඩා අභිරහස පිළිබඳ 100% ක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව සැකයකින් තොරව පැවසිය හැක.

බර්මියුඩා ත්‍රිකෝණය යනු

බර්මියුඩා ත්‍රිකෝණයට එසේත් නොමැති නම් බොහෝ දෙනෙකු හඳුන්වන පරිදි යක්ෂයාගේ ත්‍රිකෝණයට (Devil’s Triangle) අත්ලාන්තික් සාගරයේ රටවල් තුනක ප්‍රදේශ තුනක් යා කරමින් සැදි වර්ග කිලෝමීටර දහස් ගනණක ප්‍රදේශයක් අයත් වේ. ඇමරිකාවේ ෆ්ලෝරීඩාහි මියාමි (Miami) ප්‍රදේශයත්, කැරීබියන් කලාපයේ දූපතක් වන පුවෙර්ටෝ රිකෝ (Puerto Rico) ප්‍රදේශයත්, බර්මියුඩාවත් (Bermuda) සම්බන්ධ කෙරෙන මෙම ත්‍රිකෝණය තුළ 1945 සිට මේ දක්වා මුහුදු නෞකා 250 ක් සහ අහස් යාත්‍රා 300 ක් අතුරුදහන් වී ඇති බව වාර්තාගතව ඇත. මේ පිළිබඳව අදහස් දක්වන ඇතැමෙන් පවසන්නේ මෙම කලාපයේ අතුරුදහන් වූ යානා පිළිබඳ දත්ත සංඛ්‍යා මීට වඩා ඛෙහෙවින් වැඩි විය හැකි බවයි.

මෙම සිය ගණනක් වූ uuuයානා සහ ඒවායේ ගමන් කළ දහස් සංඛ්‍යාත වූ පුද්ගලයන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව බිංදු මාත්‍රයක හෝ සාක්ෂියක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ නමුත් බර්මියුඩා ත්‍රිකෝණ කලාපය පිළිබඳව ගෙතී ඇති කතාන්දර නම් රාශියකි. ඇතැම්හු මේ කතා සඳහා පිටසක්වල ජීවීන්ද ඈඳා ගන්නා නමුත් ඒ පිළිබඳව හෝ සාධාරණව පිළිගත හැකි සාක්ෂි කිසිවක් මෙතෙක් හමුවී නොමැත.

මිහිතලයෙන් ඈත එපිට ග්‍රහලෝකවල සිදුවන දෑ පිළිබඳවත් පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් හට පෘථීවියෙහි එක් වර්ග සැතපුම් ගණනක වපසරියක සිදුවන මෙම අද්භූතජනක සිදුවීම පිළිබඳව කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ මන්ද යන්න බොහෝ දෙනෙකු තුළ කුකුසක් ඇති කරවන්නකි. එම ප්‍රදේශයට කෙසේවත් ඇතුළු වීමට නොහැකි වී ඇති නිසා සිදුකරන පර්යේෂණ කටයුතු සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇති නමුත් ඉහත විස්තර කළ පර්යේෂකයින් දෙදෙනා සේම බොහෝ දෙනෙකු මේ පිළිබඳ නොයෙකුත් පර්යේෂණ සිදුකර ඇති බවට සාධක පසුගිය සටහන් දෙස බැලීමෙන් පෙනී යයි. ඇතැම් පර්යේෂකයින් එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමටද ගොස් ඇතත් එම පුද්ගලයින් නැවත පැමිණ හෝ නැති බව ඒවායේ සඳහන් වේ.

මේ අද්භූත ට්‍රෑන්ගලය වටා ගෙතී ඇති කට කතා ඇතැම් විට මායාකරුවන්ගේ කතාන්දර තරමටම රසවත් වන අතර ඇතැම්වා ත්‍රාසයෙන් භීතියෙන් මුසපත් කරන කතා වේ. කෙසේ වුවත් මෙම කලාපයේ සිදුවන සිදුවීම් අහඹුවක් ලෙස හෝ මිනිසුන්ගේ හිතළුවක් ලෙස සිතා බැහැර කළ නොහැක්කේ ඒ සිදුවීම්වලට ගොදුරු වූ නෞකාවන් පිළිබඳ වාර්තා පවතින හෙයිනි.

මේ සම්බන්ධයෙන් කරුණු සෙවීමේදී එම ප්‍රදේශයේ පවතින අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා ගුවන් යානා සහ මුහුදු නෞකා සාගර පතුලට ඇදී යා හැකි බව ඇතැමෙක් පැවසුවත් එය පිළිගත නොහැක්කේ එම කලාපයෙන් ගමන් ගත් සියලූම නෞකා හා ගුවන් යානා මෙම භයානක ඉරණමට ගොදුරු වී නෙමැති හෙයිනි. එසේ අධිගුරුත්වාකර්ෂණයක් බලපායි නම් සියලූම ගුවන් යානා සහ නෞකාවලට එය පොදුවේ බලපෑ යුතුය. එහෙත් අතුරුදහන් නොවී මේ ප්‍රදේශය හරහා ගමන් ගත් යාත්‍රාවන්ද නොයෙකුත් තාක්ෂණ ගැටලූවලට මුහුණ දී ඇති අතර ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියා විරහිත වීම, මාලිමා යන්ත්‍ර අකර්මණ්‍ය වීම වැනි සිදුවීම්වලින් ඒවායේ ගමනට බාධා වී තිබුණි.

බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේ අභිරහස් සිදුවීම් පිළිබඳව ප්‍රථම වරට වාර්තා වන්නේ මීට වසර 400 කට පමණ ඉහත දේශගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ සටහන්වලිනි. එහිදී මෙම කලාපයෙන් ගමන් ගත් කොලොම්බස්ගේ නෞකාවේ මාලිමාව අක්‍රිය වී මාලිමා කටු වේගයෙන් කැරකීමට පටන් ගැනීමත් ඉහළ ආකාශයේ විවිධ අන්දමේ දිළිසෙන වස්තූන් දර්ශනය වීමත් සිදුවූ බව ඔහු සටහන් කොට ඇත. මේ අන්දමින් හෝ මේ කලාපයෙන් ගොස් ඇසින් දුටු යමක් පැවසීමට පණ බේරාගෙන ඉතිරිව ඇත්තේ ඉතාමත් අතළොස්සකි. එහෙත් ඔවුන් පවසන කරුණුද 100% ක් සත්‍යදැයි පිළිගත නොහැක්කේ ඇතැම් හෙළිදරව් කිරීම් එතරම්ම අස්වාභාවික තත්ත්වයන් මතුකරන හෙයිනි.

බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වූ ගුවන් යානා පිළිබඳ ප්‍රථම පැහැදිලි වාර්තාව සටහන් වන්නේ 1945 දෙසැම්බර් 05 වන දිනදීයි. එදින ඇමරිකානු නාවික හමුදාවට අයත් TBM Avenger බෝම්බ ප්‍රහාරක යානා 5 ක් Lauderdale නාවික වරායෙන් පිටත්ව ගොස් ඇත්තේ පැය තුනක යුද අභ්‍යාසයක නිරත වීම සඳහායි. මේ ගුවන් යානාවල ගුවන් භටයින් 14 දෙනෙකු ගමන් කර ඇති අතර ෆ්ලෝරීඩා වෙරළ තීරයේ බෝම්බ දැමීමේ පෙරහුරුවකටද ඔවුන් සහභාගි වී ඇත. පැය කීපයක් ඉක්ම යන විට එම පුහුණු කණ්ඩායම භාර අණදෙන නිලධාරියා පාලක මැදිරියට දන්වා ඇත්තේ යානාවල මාලිමා යන්ත්‍ර නිසි ලෙස ක්‍රියාත්මක නොවී ඔවුන් අතරමං වී සිටින බවයි. එහිදී එම ගුවන් නියමුවා විසින් දෙන ලද අවසන් පණිවිඩයේ සඳහන් වූයේ ඔවුන් අතරමං වී සිටින බවත් සුදු පැහැයෙන් යුතු ජලයෙන් පිරි ප්‍රදේශයකට ඇතුළු වෙමින් සිටින බවත්ය…. (“It looks like we are entering white water … We’re completely lost.”) එතැන් සිට මෙම ගුවන් යානා 5 සහ ගුවන් භටයින් 14 දෙනාට සිදුවූ දෙයක් පිළිබඳව කිසිදු තොරතුරක් දැනගැනීමට නොලැබුණි.

බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවූ ආසන්නතම සිදුවීම්වලට අනුව කුඩා ගුවන් යානා තුනක් අතුරුදහන් වී ඇති අතර මේවා සිදුවී ඇත්තේ 2005 සිට 2008 දක්වා කාලයේදීය. 2005 ජූනි 20 වන දින Piper PA- 23 ගුවන් යානය මගීන් තිදෙනෙකු සමගත් 2007 අප්‍රේල් 10 වන දින ගුවන් නියමුවා පමණක් ගමන් ගත් Piper PA- 46 යානයත් 2008 දෙසැම්බර් 15 වන දින British-Norman Islander යානය මගීන් 11 දෙනෙකු සමගත් අතුරුදහන් වී ඇත.

එතැන් සිට කිසිදු අතුරුදන් වීමක් මෙම ප්‍රදේශයට අදාළව වාර්තා වී නොමැති අතර දිනෙන් දින දියුණු වන ගුවන් යානා තාක්ෂණය සහ අනතුරුදායක ප්‍රදේශයන් මගහැර යාම නිසා එසේ සිදුවී ඇතැයි පැවසේ. එහෙත් එසේ වූ පමණින් බර්මියුඩා ට්‍රෑන්ගලයේ පවතින අද්භූතකාරී ක්‍රියාකාරිත්වය නිමා වී ඇතැයි සිතීම මුලාවකි. එසේ නම් ලොව ඇති නොවිසඳුණු අභිරහස් අතරට එක් වී ඇති බර්මියුඩා ත්‍රිකෝණ අභිරහස හෙළිදරව් කරගැනීම අනාගත විද්‍යාඥ පරපුරට ඇති තවත් එක් අභියෝගාත්මක ඉලක්කයක් බව පැවසිය හැක.

 

සටහන – චමරි අබේසිංහ

Share this Post